ෆොන්සේකාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්

ෆොන්සේකාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්

ආරක්‍ෂක ලේකම් සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් කියයි

* කොටි නායකයන් මරන්න මා අණ කළේ නෑ
* එල්ටීටීඊ සාමාජිකයන් 11968ක් භාර වුණා
* ඔවුන්ට හොඳින් සළකන්න උපදෙස් දුන්නා

සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි එල්ටීටීඊ නායකයන් මරාදමන ලෙසට තමා අණ කළ බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වී තිබූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් ඊයේ (25) පැවැසීය.යටත් වීමට පැමිණෙන එල්. ටී. ටී. ඊ. නායකයන් සහ අනෙකුත් සාමාජිකයන් නීතියට අනුව භාර ගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමා හමුදාවට උපදෙස් දී තිබුණු බවද රාජපක්‍ෂ මහතා කීය.

එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් එකොළොස් දහස් නවසිය හැට අට දෙනෙක් හමුදාවට භාර වුණු බවත්, එයින් පන්දහසක් දෙනා පුනරුත්ථාපනය කර සමාජගත කෙරුණු බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කීය. 2009 දෙසැම්බර් 08 දා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ජාතිවාදී හැඟීම් ඇති කරන තොරතුරු සැපයීම සහ එමගින් රජය කෙරෙහි මහජනතාව තුළ විරෝධතාවයක් ඇති කිරීමට තැත් කිරීම සඳහා සුදු කොඩි ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා මහාධිකරණ ති‍්‍රත්ව විනිසුරු මඬුල්ලක් හමුවේ මේ නඩුව විභාගයට ගැනේ. කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය, ඩබ්ලිව්. ටී. ඇම්. පී. බී. වරාවැව මහතා සහ ගල්කිස්ස සිවිල් මහාධිකරණ විනිසුරු ඉසෙඩ් එම්. රෂින් මහත්වරුන්ගෙන් විනිශ්චය මණ්ඩලය සමන්විත වේ. වැඩිදුරටත් සාක්කි දුන් රාජපක්‍ෂ මහතා, එල්. ටී. ටී. ඊ. නායකයින් වූ දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර්, නඩේෂන්, සුසෙයි, ඔහුගේ බිරිය සහ කාන්තා අංශයේ නායිකාවන්ද හමුදාවට භාර වූ අතර, ඔවුන් තවමත් නිරුපද්‍රිතව ආරක්‍ෂා සහිතව සිටින බවත් කීය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය නිසා කැනඩාව, එංගලන්තය, අමෙරිකාව වැනි රටවල වෙසෙන මිලියනයකට ආසන්න ඩයස් පෝරාවේ දෙමළ ජාතිකයන්ගේ විරෝධය ශ්‍රී ලංකා රජයටත්, තමන්ටත් එල්ල වූ බවත් රාජපක්‍ෂ මහතා කීය. මේ ලිපිය නිසා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසත් බල කරන බවත් කීය. මේ ලිපිය නිසා රටේ පවා ජනතාවගේ විරුද්ධත්වයක් ඇති වූ බවද රට තුළ අසමගියක් ඇති වූ බවද කී රාජපක්‍ෂ මහතා ඒ අසමගිය දුරු කිරීමට රජය ක්‍රියා කළ බවද කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා