ලක්ෂ 5ක් වටිනා ගෑස් සිලින්ඩර සොරකම් කරලා

ලක්ෂ 5ක් වටිනා ගෑස් සිලින්ඩර සොරකම් කරලා
 

පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක මහතා
ඇතුළු වැටලීම සිදු කළ නිලධාරීන්

රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වටිනා ගෑස් සිලින්ඩර පනහක් සොරා ගෙන ගිය පුද්ගලයකු එම සිලින්ඩර තොගය සමග අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය සමත් වී ඇත.හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලක ගබඩා කර තිබූ මෙම සිලින්ඩර තොගය පසුගිය දිනක සොරා ගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු ගෑස් සිලින්ඩර තොගය රහසිගතව කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළෙඳ සැලකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ කොළඹ (දකුණ) ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්, හෝමාගම (දකුණ) සහකාර පොලිස් අධිකාරී කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හෝමාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කර සැකකරු හා ගෑස් සිලින්ඩර තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා