අනුරපුර බන්ධනාගාරය මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට

අනුරපුර බන්ධනාගාරය මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට

අනුරාධපුර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය විසින් පැවැත්වූවා ය. මහේස්ත්‍රාත්තුමිය සිද්ධිය වූ ස්ථානය වන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඊයේ (25) සවස පරීක්ෂණ සිදු කළා ය. කලහකාරි සිද්ධිය වූ බන්ධනාගාරයේ සියලු ස්ථාන නිරීක්ෂණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රැඳවියන් කම්බි කොක්කක් සවිකළ ලණුවකින් කාන්තා අංශයට (කාන්තා රැඳවියන් සිටින) පැමිණීමට උත්සහ කළ ස්ථානය ද නිරීක්ෂණයට ලක් කළා ය.

පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. එල්. වෛද්‍යරත්න මහතාට නියෝග කරමින් කියා සිටියේ මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මෙම අවස්ථාවට අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි රාජා වික්‍රමනායක, සහකාර පොලිස් අධිකාරි ජේ. එන්. සේනාරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති එම්. එන්. ඒ. වීරසූරිය යන පොලිස් නිලධාරීන් පරීක්ෂණවලට එක් වූහ.

පෙරේදා (24) සිදු වූ කළහකාරී සිද්ධියෙන් බන්ධනාගාර පුස්තකාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇත.  ලොන්ඩ්‍රියට ගිනි තැබීමෙන් අලාභහානි සිදුව ඇති අතර බන්ධනාගාර ඇතුළත භූමියතුළ කලහකාරින් පහරදුන් ගඩොල්, කළුගල් විශාල ප්‍රමාණයක් එක් රැස්ව ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මානසික රෝගීන්ට ලබා දෙන බෙහෙත් පානය කර ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී තිබේ. මෙම බෙහෙත් බන්ධනාගාරය තුළ පිහිටි රෝහලෙන් පැහැර ගෙන ඇති බව පැවසේ.
 

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සහකාර පොලිස් අධිකාරී රාජා වික්‍රමනායක මහතා හා ජේ. එන්. සේනාරත්න යන පොලිස් නිලධාරීන්ට ඉදිරි විමර්ශන කටයුතුª සඳහා බන්ධනාගාර භූමියේ දී උපදෙස් දෙමින්.

සිරකරුවන් පැනයාමට යොදාගත් කඹය හා කම්බි කොක්ක රැගෙන එන බන්ධනාගාර නියාමකවරයෙක්.

ඡායාරූප - අනුරාධපුර මධ්‍යම විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා