කෝටි 15ක කොකේන් සමඟ ඉන්දීය ජාතිකයා රේගු දැලේ

කෝටි 15ක කොකේන් සමඟ ඉන්දීය ජාතිකයා රේගු දැලේ
 

කොකේන් මත්ද්‍රව්‍ය තොගය රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම සහකාර රේගු අධිකාරීවරුන් වන ඩී. එස්. සී. මයිකල්, විපුල ප්‍රනාන්දු නිෂාන්ත ආරියපාල, සී. එල්. අඹගහවත්ත, සී. ටී. ගමගේ, නන්දන ජයතිලක හා ජසිත අධිකාරි යන මහත්වරුන්ගේ අධීක්ෂණයට ලක්වූ අයුරු.
ඡායාරූපය – කුමාරසිරි ප්‍රසාද් ගුවන් තොටුපළ

ශ්‍රීලංකාව හරහා බැංකොක් බලා යාමට තැත් කළ ඉන්දියන් ජාතිකයකු සතුව තිබී රුපියල් කෝටි 15ක් වටිනා කොකේන් කිලෝ 10ක් ශ්‍රී ලංකා රේගුව ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ. අස්ථානගත වූ ගමන්මලු කවුළුව වෙතට පැමිණි ඉන්දියන් ජාතිකයා පිළිබඳ සැක සිතී ගමන් මලු පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මේ කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා බැංකොක් යාමට පැමිණි මේ පුද්ගලයාගේ ගමන් මල්ල අස්ථානගත වී ඇත. අත්අඩංගුවට ගත් කොකේන් තොගය රාජසන්තක කර  ඉන්දියන් ජාතිකයාගෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා රේගුව පැවසීය. මේ වැටලීම සහකාර රේගු අධිකාරි විපුල එම් ප්‍රනාන්දු, තුසිත අධිකාරම් මහත්වරුන් සිදුකර තිබෙන අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂක කේ. ආර්. සෙනෙවිරත්න, රේගු අධිකාරි නිහාල් අලහප්පෙරුම මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා