අධ්‍යාපන-කෘෂි-ධීවර-වෙළෙඳ ක්ෂේත්‍ර වර්ධනයට අවබෝධතා ගිවිසුම් හතරක්

අධ්‍යාපන-කෘෂි-ධීවර-වෙළෙඳ ක්ෂේත්‍ර වර්ධනයට අවබෝධතා ගිවිසුම් හතරක්

ශ්‍රී ලංකා-බංග්ලාදේශ නායක සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අවබෝධතා ගිවිසුම් හතරකට සහ එක් හුවමාරු වැඩසටහනකට අස්සන් තබයි. අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර, වෙළෙඳ සහ සංස්කෘතික ක්‍ෂේත්‍ර පුළුල් කර ගැනීමේ අරමුණ ඇතිව මේ ගිවිසුම්වලට අස්සන් තබා ඇත. මේ නිසා දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බංගලාදේශ අගමැතිනි ෂික් හසිනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එරට අගමැති කාර්යාලයේ දී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේදී මේ ගිවිසුම්වලට පෙරේදා (18) අස්සන් තැබිණ.

දෙරට අතර වෘත්තීය අධ්‍යාපන කටයුතු පුළුල් කෙරෙන වෘත්තීය අධ්‍යාපන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද බංගලාදේශ පාර්ශවය වෙනුවෙන් අධ්‍යාපන ඇමැති නුරුල් ඉස්ලම් නහීඩ් මහතාද අස්සන් තැබූහ. ධීවර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද බංගලාදේශ පාර්ශවය වෙනුවෙන් ධීවර ඇමැති අබ්දුල් ලාතිෆ් බිස්වාස් මහතාද අස්සන් තැබූහ.

කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමට අස්සන් තැබුණේ ජී. එල්. පීරිස් ඇමැතිවරයා සහ එරට කෘෂිකර්ම ඇමැති මාතියා චෞද්රි මහතා අතරය. දෙරට අතර වෙළෙඳ ප්‍රවර්ධනය සඳහා ද අවබෝධතා ගිවිසුමක් අස්සන් තැබුණු අතර ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතාද බංගලාදේශ පාර්ශ්වය වෙනුවෙන් වානණිජ කටයුතු ඇමැති ෆාරුක් ඛාන් මහතාද ඊට අස්සන් තැබූහ.

ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර සංස්කෘතික, අධ්‍යාපන හා විද්‍යාත්මක හුවමාරු වැඩසටහනක් සඳහා ද මෙහිදී අස්සන් තබන ලදී. ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද බංගලාදේශ පාර්ශවය වෙනුවෙන් තොරතුරු සහ සංස්කෘතික ඇමැති අබ්දුල් කලාම් අසාඩ් මහතාද ගිවිසුමට අස්සන් තැබූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් සරතුංග, බංගලාදේශයේ ශ්‍රී ලංකා තානාපති සරත් කේ. වේරගොඩ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා