ජනපති අද දිවයිනට

ජනපති අද දිවයිනට

රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා වඩාත් ශක්තිමත් කරමින් දෙරටටම වඩා වාසිදායක එකඟතාවන්ට එළඹීමට ඉවහල් වූ බංගලාදේශ තෙදින නිල සංචාරය අතිසාර්ථකව නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය ඉමහත් ගෞරවයක් සේ සැළකූ බංගලාදේශ රජය ලොව ඉහළම පෙළේ රාජ්‍ය නායකයන්ට ලබා දෙන සත්කාර දැක්වීම සුවිශේෂී කරුණකි. බංගලාදේශ මාධ්‍ය මෙන්ම ජනතාවද ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ සංචාරය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබිණ.

බංගලාදේශ ජනාධිපති සිල්ලූර් රහමන් මහතා සහ අගමැතිනි ෂික් හසිනා, විදේශ ඇමැති ඩිපු මෝනි මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ ජනාධිපතිතුමා දෙරට අතර අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවට ද එක් විය. ජනාධිපතිවරයා බංගලාදේශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා බංගාබන්දු කෞතුකාරය නැරඹීමටද එක්විය. බංගලාදේශයේ ජාතියේ පියා ලෙස සැළකෙන ෂික් මුජිබුර් රහමන් මහතා වෙනුවෙන් ඉදි කර ඇති මේ කෞතුකාගාරය නැරඹූ ජනාධිපතිවරයා මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීය.

බංගලාදේශයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් හමු වූ ජනාධිපතිතුමා එරට වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ භෝජන සංග්‍රහයකටද එක්විය. බංගලාදේශයේ ජනාධිපතිවරයා සිය මන්දිරය වන බංගභවන්හි දී ජනාධිපතිතුමන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඒ. එච්. එම්. අස්වර්, සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරත් කේ වේරගොඩ මහත්වරු ඇතුළු පිරිසක් මේ සංචාරයට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා