ශ්‍රී ලංකාවේ ජනපති විශිෂ්ට නායකයෙක්

ශ්‍රී ලංකාවේ ජනපති විශිෂ්ට නායකයෙක්

බංග්ලාදේශ මුදල් ඇමැති මුහිත්

ශ්‍රී ලංකාවේ ජනාධිපති රටක්, ත්‍රස්තවාදයෙන් මුදාගත් විශිෂ්ට නායකයකු බව බංග්ලාදේශ මුදල් අමාත්‍ය අබුල් මාල් ඒ මුහිත් මහතා ප්‍රකාශ කරයි. එය ත්‍රස්තවාදයෙන් බැටකන අනෙක් රටවලට ආදර්ශයක් බව ද ඒ මහතා කීය. ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය ද ත්‍රස්තවාදයෙන් මෙන්ම බෙදුම් වාදයෙන් ද බැට කෑ බව ප්‍රකාශ කළ මුහිත් මහතා මහින්ද රාජපක්ෂ මහතා යටතේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආර්ථික ප්‍රගතියක් ලැබූ බව ද ප්‍රකාශ කෙළේ ය.

බංග්ලාදේශයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ඊයේ (19) ඩකා නුවර පෑන් පැසිෆික් සොනොගන් හෝටලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී බංග්ලාදේශ මුදල් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කෙළේ ය. බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෙම හමුව සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා රජය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අනුව යමින් බංග්ලාදේශ ආර්ථිකය ඉහළ තලයකට ගෙන ඒම තම රජයේ අපේක්ෂාව බව ද මුහිත් මහතා කීය.

මෙහි දී අදහස් දැක් වූ විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ඉතා දරුණු ලෙස ත්‍රස්තවාදයෙන් බැට කෑ රටවල් බව සිහිපත් කෙළේ ය. ත්‍රස්තවාදයේ දරුණු බව පිළිබිඹු කරන සාධකයක් ලෙස බංග්ලාදේශයේ බංගබන්දු ශීක් මුජිබර් රහමන් ඝාතනය හඳුන්වා දිය හැකි බව විදේශ ඇමැතිවරයා කීය. මෙම හමුවට එක් වූ ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාවේ අයෝජනයට කැමැත්ත සහ ප්‍රසාදය පළ කර සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා