උපදේශන වාර්තාවේ කරුණු රජය ප්‍රතික්ෂේප කරනවා

උපදේශන වාර්තාවේ කරුණු රජය ප්‍රතික්ෂේප කරනවා

පරාජයට පත් කළ කොටි සංවිධානයේ සිතුම් පැතුම් අනුව කටයුතු කරන විවිධ කණ්ඩායම් මුහුදින් එතෙර හා රට ඇතුළේ සිට එම සංවිධානයට උඩ ගෙඩි දෙමින් ජනපති ප්‍රමුඛ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ගෙන යාමට දරන උත්සාහය පරාජය කිරීමට මුළු රට ම එකම ජනතාවක් ලෙස කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අප රට ත්‍රස්තවාදයෙන් බේරාගෙන, නිදහස් රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා නිකුත් කළ උපදේශන වාර්තාවේ සඳහන් කැර ඇති කරුණු සියල්ල ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ නව වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් එම අමාත්‍යාංශයේ පෙරේදා (18) පැවැති උත්සවයට සහභාගි වෙමිනි. ත්‍රස්තවාදය භෞතික වශයෙන් අවසන් කළත් ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව කටයුතු කරන පිරිසක් අපිට අභියෝග කිරීමට පටන් ගෙන තිබේ. වසර දහස් ගණනක කීර්තිමත් ඉතිහාසයක අපි හැම විට ම අනභිභවනීය ජාතියක් වශයෙන් හා සටන්කාමී සහජීවන සමාජයක් වශයෙන් කටයුතු කර තිබේ යයි ද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය ජය ගෙන මේ රට නිදහස් සාමකාමී රටක් ලෙස කටයුතු කරන අවස්ථාවක ඒ ජයග්‍රහණ වැළැක්වීමටත්, අප ද්‍රෝහීන් බවට පත් කිරීමටත්, අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් ද්‍රෝහීන් කිරීමටත්, ඔවුන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමටත් මේ පුද්ගලයන් උත්සාහ දරනවා. විශේෂයෙන් ජනාධිපති, ආරක්ෂක ලේකම් ඇතුළු රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට කොටි සංවිධානය මුහුදෙන් එතෙර සිට වෙනත් මුහුණුවරකින් බලපෑම් කරනවා. මේ කුමන්ත්‍රණ පරාජය කිරීමට මේ රටේ සියලු දෙනා එක්විය යුතුයි. රජයක් වශයෙන් අපි ඒ සඳහා සූදානම්. ඒ නිසා ජාත්‍යන්තර බලවේගවලට මේ පිළිබඳ නිවැරැදි තත්ත්වය පැහැදිලි කරනවා සේම ඉවසීමෙන් යුතුව බුද්ධිමත් ව හා ඥානාන්විතව මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා