බොරැල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජනය කළැයි කොස්තාපල්ට ඇප

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට
මරණ තර්ජනය කළැයි කොස්තාපල්ට ඇප

රාජකාරියට වාර්තා නොකිරීම සම්බන්‍ධව විමසූ විට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කළ බව කියන එම පොලිසියේ, පොලිස් කොස්තාපල්වරයෙක් රුපියල් දස දහසක මුදල් හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය ඊයේ (19) නියෝග කළාය.

බොරැල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැර සිටි පොලිස් කොස්තාපල් නාලක කුමාරසිරි එසේ ඇප මත මුදා හැරුණි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා රාත්‍රී රාජකාරියට වාර්තා නොකිරීම සම්බන්‍ධයෙන් ස්ථානාධිපතිවරයා සොයා බැලීමේදී සැකකරු බීමත්ව තනිකඩ පොලිස් භට නිවාසයේ සිටින බවට සැලවීමෙන් පසු එම භට නිවාසය වෙත ගිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට සැකකරු මෙලෙස පිහියක් පෙන්වා මරණ තර්ජන කැර ඇති බව කියයි.

සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ පොලිස් නිල ඇඳුම් හා පොලිස් හැඳුනුම්පත බොරැල්ල පොලිසියට බාර දෙන ලෙසට හා සෑම ඉරිදාම බොරැල්ල පොලිසියට වාර්තා කරන ලෙසට නියෝග කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා