බිම් මට්ටමේ සංවර්ධන වැඩට ඕස්ට්‍රේලියාවෙන් මිලියන 9.8ක්

බිම් මට්ටමේ සංවර්ධන වැඩට ඕස්ට්‍රේලියාවෙන් මිලියන 9.8ක්

රට පුරා බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සෘජු ආධාර වැඩ සටහන මඟින් රුපියල් මිලියන 9.8ක මුදලක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා පදනම් සංවිධාන අටකට මේ මුදල ලබාදී තිබෙන අතර එම මුදල අදාළ ප්‍රජා පදනම් සංවිධාන වෙත බෙදා දීම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩ බලන මහ කොමසාරිස් සොෆියා මැක් ඉන්ටයර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (19) සිදු කෙරිණි.

ඕස්ට්‍රේලියානු සෘජු ආධාර වැඩ සටහන මඟින් ප්‍රදානයන් සිදු කරන්නේ ලාභ නොලැබීමේ පදනමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා බව වැඩබලන මහකොමසාරිස්වරිය සඳහන් කළාය. මේ අතර ඇය සඳහන් කළේ අදාළ ප්‍රජාවන්ගේ දිළිදුකම අවම කිරීමටත් තිරසාර සංවර්ධනය සඳහා සහාය ලබාදීමටත් මේ මුදල් යොදා ගන්නා බවයි.

සංක්‍රමණික කම්කරුවන් පුහුණු කිරීම, ආබාධිත ප්‍රජාවට සහාය ලබාදීම, ආදායම් උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම, ඩිජිටල් ශ්‍රව්‍ය ග්‍රන්ථ කටයුතු සඳහා මෙන්ම, කාන්තාවන්, ළමුන් හා ආබාධිතයන්ට සහාය දීම, දිළිදු ජනාවාසවල මූලික අවශ්‍යතා ඉටු කිරීම, ආබාධිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් මේ මුදල් යෙදවීමට නියමිතය.

ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ප්‍රජා පදනම් සංවිධාන වෙත මේ මුදල් බෙදා දෙන ලද අතර කුරුණෑගල ප්‍රජා සංවර්ධන සේවාව, ගාල්ලේ සමානාත්මතා පදනම් ප්‍රජා ආධාර හා පුහුණු කිරීමේ සංවිධානය, විල්ගමුව කාන්තා සංවර්ධන සංගමය, මොරටුව දෘෂ්‍යාබාධිත උපාධිධරයන් සඳහා වන ශ්‍රී ලංකා මණ්ඩලය ආදිය මේ අතර වෙයි. ඊට අමතරව පුත්තලමේ ස්ත්‍රී පුරුෂ ප්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය, කොළඹ සංවර්ධන කේන්ද්‍රීය ජනතා සංගමය, අනුරාධපුර පොළොන්නරුව, මඩකළපුව ප්‍රදේශයන්හි යුද්ධයෙන් විපතට පත් වැන්දඹුවන්ගේ සංගමය හා යාපනය විශ්වවිද්‍යාලය යන සංවිධාන වෙතද මෙම සංවර්ධන මුදල් බෙදා දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා