ඉහළ කොත්මලේ වැඩ සියයට 81ක් අවසන්

ඉහළ කොත්මලේ වැඩ සියයට 81ක් අවසන්

මෙගාවොට් එකසිය පනහක ධාරිතාවකින් යුතු ඉහළ කොත්මලේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සියයට අසූඑකකින් පමණ අවසන් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙරට ඉදිකෙරෙන විශාල ප්‍රමාණයේ අවසන් ජල විදුලි ව්‍යාපෘතිය වන ඉහළ කොත්මලේ බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය මෙගාවොට් හැත්තෑපක ධාරිතාවෙන් යුතු ජනන යන්ත්‍ර දෙකක් මේ දිනවල ස්ථාපිත කරන බවද අමාත්‍යාංශය පවසයි.

මේ වසර අග භාගයේදී මෙගාවොට් එකසිය පනහක විදුලි ධාරිතාවක් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය මගින් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට නියමිතවේ. විදුලි ඒකක දශලක්ෂ හාරසිය නවයක දළ විදුලි ජනනයත් වාර්ෂිකව මෙමඟින් ජනනය කිරීමට අපේක්‍ෂා කෙරේ.  ජපාන රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව මගින් ඉහළ කොත්මලේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා යෙන් මිලියන 33265ක සහනදායි ණය මුදලක් පිරිනමා ඇති අතර මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන 8700ක මුදලක් වැයකර ඇත.

බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අදියර පහක් යටතේ සිදුවූ අතර පස්වන අදියර යටතේ සිදුකෙරෙන විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද සියයට හැත්තෑතුනකින් අවසන් වී ඇත. මෙරට ඉදිකළ දිගම උමග වන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ප්‍රධාන භූගත උමග මඟින් කොත්මලේ ඔයේ ජලය බලාගාරය වෙත ගෙනයාම සිදුවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා