සංගීත සංදර්ශනය මැද්දේ පොලිස් සැරයන්ගෙන් වෙඩි ප්‍රහාරයක්

සංගීත සංදර්ශනය මැද්දේ පොලිස් සැරයන්ගෙන් වෙඩි ප්‍රහාරයක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉකුත් 15 දා කටුගස්තොට වතුවල ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් සැරයන්වරයකු කටුගස්තොට පොලිසිය විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ වෙඩි තැබීමෙන් රුවන්කුමාර ජයතුංග නමැති නුගවෙල පදිංචි තරුණයකු තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ. සැකකාර පොලිස් සැරයන්වරයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් කටුගස්තොට පොලිස් වසම තුළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ සංගීත සංදර්ශන කිහිපයක් සඳහා අවසර නොදීමට ද පොලිසිය පියවර ගෙන තිබිණි. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මේ වෙඩි තැබීම සිදුව තිබෙන බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මෙහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා