එජාපය පවසන පරිදි හම්බන්තොට වරායේ විශාල කළු ගලක් නැහැ

එජාපය පවසන පරිදි හම්බන්තොට වරායේ විශාල කළු ගලක් නැහැ

නි. ඇමැති රෝහිත අබේගුණවර්ධන

හම්බන්තොට වරායේ විශාල කළුගලක් ඇතැයි එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් යැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ එම ප්‍රකාශය පිළිබඳ තමා කනගාටු වන බවද ඒ මහතා පවසයි. මාගම්පුර වරාය පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු නොකර ඒ පිළිබඳ නිසි අවබෝධයක් ඇති අයකු සමඟ කතිකාවතකට පැමිණ සත්‍ය අවබෝධ කර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා හරීන් ප්‍රනාන්දු මහතාට ආරාධනා කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සිදුකරන ලද ඉංජිනේරුවන් හා එම ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වන විදේශීය ආයතන කළමනාකරුවන් එම කතිකාවතට සූදානම් බවද අබේගුණවර්ධන මහතා කියා සිටී. ලෝකයේ කිසිම ජාත්‍යන්තර වරායක් මීටර් 30 ක් ගැඹුර ඇති තැනක් නොමැති බවත් හරීන් ප්‍රනාන්දු මහතා පෘථිවියේ නොව විශ්වයේ කොතැනක වත් එවැනි වරායක් හීනෙන්වත් දකින්න නැති බව පවසන නියෝජ්‍ය ඇමැතිවරයා ලෝකයේ විශාල වරායක් වන කොළඹ වරායේත් උපරිම ගැඹුර මීටර් 16 ක් බවත් ලෝකයේ වෙනත් වරායයන් මීටර් 18 ත් 19 ත් අතර වන බවත් කීවේය.

පසුගිය යුද සමයේ එජාපයේ ශීර්ෂපාඨ වූයේ ඕනෑම ගොනෙකුට යුද කළ හැකි බව, වරායට වතුර පුරවන්න බැරි බව, වැනි ද්වේෂසගගත කතා වන අතර නිවසක ළිඳක් හාරන විට ගල් අසුවුවද ළිඳ හැරීම නොනවත්වන බව එජාපය මේ වන විටත් තේරුම් නොගැනීම එජාප පාක්ෂිකයන්ගේ අවාසනාව බවත් ඇමැතිවරයා කීය. මාගම්පුර වරාය ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 360 ක් වැය කර ඇති අතර මේසා විශාල මුදලක් ලෝකයේ ප්‍රබල සමාගම් දරා ඇත්තේ විශාල ඔළුවේ අමාරුවක් නිසාදැයි අමාත්‍යවරයා මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරයි. අසත්‍ය ප්‍රචාර ගෙනයාම එජාපයේ පුරුද්දක් වන අතර විවෘත කතිකාවතකට පැමිණෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට අභියෝග කර සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා