ඉන්දියාවට චීනයෙන් අ‍ායෝජන ආරාධනා

ඉන්දියාවට චීනයෙන් අ‍ායෝජන ආරාධනා

ඉන්දියාව සිය ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත කලාපයන්හි ආයෝජනය කරන ලෙස චීනයට පෙරේදා ආරාධනා කළේය. මේ ආසියානු අසල්වැසියන් දෙදෙනා අතර පුඵල් වෙමින් පවතින වෙළෙඳ පරතරය අත් හිටුවා වෙළෙඳ සබඳතා පුඵල් කිරීමේ අංගයක් ලෙස මේ ආරාධනාව කෙරී ඇතැයි පැවසේ.

නැගී එන ආසියානු යෝධයන් වන මේ දෙරට අතර පවත්නා වෙළෙඳ පරතරය පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 40 කට ආසන්නවෙමින් එය 42% ලෙස දැක්වී තිබිණ. දෙරට අතර ද්විපාර්ෂවික වෙළදාම ඩොලර් බිලියන 75 ක් බවට පත්වෙමින් 27% ක්දක්වා ඉහළ නැග තිබිණ.

මේ තත්ත්වය යටතේ ජාතික ආයෝජන හා නිෂ්පාදන කර්මාන්ත කලාපයක් හෝ කීපයක් පිහිටුවීමට එක්වන්නැයි ඉන්දීය වෙළඳ ඇමති අනන්ද් ෂර්මා නවදිල්ලියේදී සිය චීන සමගාමියා වන චෙන් ඩෙමින් ගෙන් ඉල්ලා තිබිණ.

තවද ඉන්දීය හා චීන ව්‍යාපාරික පිරිසක් අමතමින් ඔහු කීවේ මේ ආයෝජන යෝජනාව සම්බන්ධයෙන් චීනයෙන් ලැබෙන ප්‍රතිචාරය බෙහෙවින් දිරිගන්වනු සුළු මෙන්ම සුබවාදී බවය. මේ කර්මාන්ත කලාප පිහිටුවනු ලබන්නේ ඉන්දියාවේ ජාතික නිෂ්පාදන ප්‍රතිපත්තියට අනුකූලවය.

ඉදිරි දශකයේදී ඉන්දිය දළ දේශීය නිෂ්පාදිතය 16% සිට 25% දක්වා ඉහළ නංවමින් තරුණ පෙළට රැකියා අවස්ථා පාදා දීම මේ ප්‍රතිපත්තියේ අරමුණ වී තිබේ. ඉන්දීය ආරාධනාවට ප්‍රතිචාර දක්වන චීන වෙළෙඳ ඇමති චෙන් ඩෙමින් දැනට චීනය ඉන්දියාවට අපනයනය කරන්නේ බැර ඉංජනේරු උපකරණ වැනි ප්‍රාග්ධන භාණ්ඩ පමණක් බවත් එහෙත් ඉන්දියාවෙන් තව බොහෝදෑ මිලට ගනිමින් වෙළෙඳ සබඳතා වර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බවත් කීවේය.

දෙරටේම සැලකිය යුතු දේශීය වෙළෙඳ පොලක පැවැත්ම ගෝලීය ආර්ථික අවදානම් හමුවේ ‍නොසැලී සිටීමට හේතුවක්ව ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා