සිරියාවේ සාමාන්‍ය වැසියන් මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඔන්නැයි එ.ජා. මහලේකම් බල කරයි

සිරියාවේ සාමාන්‍ය වැසියන් මරා දැමීම සම්බන්ධයෙන්
පරීක්ෂණ අරඔන්නැයි එ.ජා. මහලේකම් බල කරයි

සිරියාවේ දරායා නගරයේ සාමාන්‍ය වැසියන් සිය ගණනින් සාහසික ලෙස මරා දැමීම සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එ.ජා මහ ලේකම් බැන් කි මූන් බලකර සිටී.

දින පහක් පුරා පැවැත්වෙන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් දරායා නගරයේ 334 දෙනෙකු මරා දමා ඇතැයි සිරියා මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය පවසයි. මේ අතර සිරියා ආරක්ෂක හමුදා සිදු කරන සමූල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රබල විරෝධය සිරියාවට එල්ල වි තිබේ.

රජයේ හමුදා හෙලිකොප්ටරයක් ඩැමස්කස් හීදී බිම හෙලූ බවට සිරියන් නිදහස් හමුදාවේ කැරළිකරුවන් ප්‍රකාශ කර ඇත .එහි හටගත් ගැටුම් වලින් 34 දෙනකු මිය ගිය බව වාර්තා වේ. මේ අතර ළමුන් කිහිපදෙනකු ද සිටින බව සඳහන් වේ.

සිරියාවෙන් පලා යන වැසියන් කඳවුරු ලා සිටින දේශ සීමා ප්‍රදේශවල ආරක්ෂක කලාපයක් පිහිටුවිම සම්බන්ධයෙන් මිත්‍ර පාක්ෂිකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රංශය පවසයි. රාජ්‍ය මාධ්‍ය පවසන්නේ දරායා නගරයේ ත්‍රස්තවාදීන් අතු ගා දැමූ බව යි.

සිරියාවේ මෙන්ම විදේශයන් හි සිටින සිරිය‍ා ජාතිකයන් එකමුතුව සියලු දෙනාගේම අපේක්ෂා මුදුන් පත් කරගත හැකි ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටුවා ගැනීමට යුහුසුළුව කටයුතු කළ යුතු බඅමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නුලාන්ඩ් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා