ශාසන පරිහානියට වගකිවයුත්තේ කවුද?

ශාසන පරිහානියට වගකිවයුත්තේ කවුද?

තමන් අදහන, විශ්වාස කරන ආගම දහමේ දියුණුව ස්වසමයාභිවෘද්ධියයි. මේ රටේ හැටියට නම් සිංහල ජාතියේ ආරම්භක කාලයේ පටන් එනම්, වසර දෙදහස් තුන්සිය ගණනක සිටම ලංකාවාසීන් බෞද්ධයන්ම වූ නිසා මෙහි බුද්ධාගම පිළිබඳ දියුණුව ස්වසමයාභිවෘද්ධිය යැයි සැලකිය යුතුය.

එහෙත්, අද සිදුව ඇත්තේ කුමක්ද? අප කළ යුත්තේ සහ අපට කළ හැක්කේ කුමක්ද? ඉතාම සංකීර්ණ වූත්, තරගකාරී වූත්, විෂම වූත් සමාජ වටපිටාවක ඉතා ඉවසීමකින් හා මනා ශික්ෂණයකින් යුතුව අද අප පත්ව ඇති තත්ත්වය විමසා බැලිය යුතු වේ.

අද වනවිට සම්බුද්ධ ශාසනයට, බෞද්ධාගමට හා මහා සඟරුවනට අත්ව ඇති ඉරණම ඛේදජනකය. අතිශය වේගවත් ලෙස මේ පුංචි දිවයිනට ඔරොත්තු නොදෙන තරමේ විද්‍යුත් මාධ්‍ය කලඑළි බැස ඇති මෙකල සද්ධර්මය විෂයෙහි පවා ඇතිකොට ඇත්තේ මහා තරගයකි. මේ තරගය තුළ ඉතා දරුණු ලෙස බුදු සව්වෝ අතරමං වෙති. බුදුවරු පහළ වෙති. මාර්ගඵල ලාභී සහතිකපත් නිකුත් කෙරේ. තමන් මෙතේ බුදුන් ලෙසට කල් ගෙවයි.

මේ මානසික රෝගීන්ට වුව, මාධ්‍ය භාවිතාවේ ඉඩක් සලසාදීමට තරම් ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් වී සිටිති. නොසරුප් ගිහි කටයුතුවල යෙදී ආමිෂගරුකව කල් යවන්නන් නිසා මෙරට භික්ෂූත්වය පහළ බැස තිබේ. ඇතැම්විට විදේශයන්හි වෙසෙන්නවුන් භික්ෂූන් දකින්නේ මන්තරකරුවන් හා ;කාඩිවිනකරුවන් හැටියට ය.

මේ තත්ත්වයෙන් උත්තම බුද්ධ ශාසනයත්, භික්ෂූන් වහන්සේත් ගලවා ගැනීමට නම් “පටිසෝතගාමී” ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබේ. මෙසේ සංවිධානය වීමෙන් ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමී වැඩපිළිවෙළ යම් පමණකට හෝ සාර්ථක කරගත හැකිවනු ඇතැයි කලකිරී සිටින බොදු ජනතාව දැන් දැන් විශ්වාස කරති. එසේ නොකොට ගිහි ප්‍රජාවට දොස් කීමෙන්වත්, භික්ෂූන් ඔවුනොවුන්ගේ නිකාය භේදාදීන් ඉදිරිපත් කොට දොස් කියා ගැනීමෙන්වත්, බෞද්ධ සම්ප්‍රදාය විරෝධීව වෙනත් ආගමික මධ්‍යස්ථාන හෝ ව්‍යාකූල මතභේද ඉදිරිපත් කිරීමෙන් තමන්ට අනුගාමික පිරිස් ගොඩනංවා ගැනීමෙන්වත් මේ තත්ත්වයෙන් අත්මිදිය නොහැකිය.

බෞද්ධ ප්‍රභූන් ශ්‍රද්්ධාවකින් තොරව උදාසීනව තමන් නොපුරන වත්පිළිවෙත් අනුන් ලවා පුරවන්නටත්, තමන් නොඅසන බණ සෙසු අය ලවා අස්සවන්නටත්, තමන් නොරකින සිල් අනුන් ලබා රක්කවන්නටත්, තමන් තුළ නැති සත්‍ය, ත්‍යාගාදී ගුණයන් අනුන් තුළ උපදවන්නටත් යාමෙන් ශක්තිමත් සැබෑ ස්වසමාභිවෘද්ධියක් අපේක්ෂා කළ නොහැක්කේය.

බුදු සමය හැර වෙනත් සමයන් සියල්ලක්ම, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පැත්තට යොමුව අනුසෝතගාමී (වැල යන අතට මැස්ස ගසන්නාක් මෙන් ගලා යන පැත්තට උදව් කරන) සමයන් ය. එහෙත්, බුදු සමය සියලු ආකාරයේ තණ්හාව, ද්වේෂය, මෝහය දුරු කිරීමට උපදෙස් දෙන පටිසෝතගාමී (පහළට ගලන ගඟ ඉහළට හැරවිම හෝ පහළට ගලන ගඟින් ඉහළට පීනන) ධර්මයකි. සැබෑ වෙනසක් අත්විඳිනු කැමති කැමති තරුණයන් බුදු දහම වටා ඒකරාශී වන්නේ මේ නිසාය. අනුසෝතගාමී ආගමත්, දහමත් ඇදහීම පහසුය. බුදු දහම වැනි පටිසෝතගාමී ධර්මයක පිහිටා කටයුතු කිරීම අපහසු බැවින් අවබෝධයෙන් තොර බෞද්ධයා අනුසෝතගාමීව, සම්ප්‍රදාය විරෝධීව, බුද්ධ වචනයට පටහැනිව වෙනත් ස්ථාන කරා යොමු වීම සුලභ දර්ශනයකි. බොදු බල සේනා සංවිධාන ජාලය ගොඩනැඟෙන්නේ ඊට උත්තරයක් වශයෙනි.

රට-දැය-සමය සුරැකීම සඳහා භික්ෂු - භික්ෂුණී – උපාසක – උපාසිකා යන සිව්වණක් පිරිස අධිෂ්ඨානශීලීව පෙළ ගැස්විය යුත්තේ ය. පක්ෂ දේශපාලනයෙන් තොර වූ, බුද්ධ වචනයම ව්‍යවස්ථාව කොටගෙන පස්වග මහණුන්ගෙන් ඇරැඹුණු අසූමහා ශ්‍රාවකයින් වහන්සේලාගෙන් ස්ථාපිත වූ, කාශ්‍යප මහ රහතන් වහන්සේ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ වැනි මහා සංඝපීතෘන් වහන්සේලා විසින් සංරක්ෂණය කරන ලදුව, මහා මහින්ද හිමියන් විසින් අප වෙත දායාද කළ අරිට්ඨ මහරහතන් වහන්සේ ෂසින් අපේ දෙයක් බවට පත්කළ ශාසනික පිළිවෙත අප විසින් ඉදිරියට ගෙන යා යුත්තේ ය. කුප්පික්කුල තිස්ස මහා තෙරුන්, දිඹුලාගල කාශ්‍යප තෙරුන්, ධර්මකීර්ති, ධර්මසේන, ශ්‍රී රාහුල තෙරවරු සේම, වැලිවිට සංඝරාජයන්, වාරියපොල සුමංගල හිමියන්, මිගෙට්ටුවත්තේ හිමියන් වැනි මහතෙරවරුන් ගිය මග අපිද අනුගමනය කළ යුත්තෙමු. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, වීර පුරන් අප්පු, කැප්පෙටිපොළ, විහාර මහ දේවිය, සෝමා දේවිය වැනි උදාර ලක් දූ පුතුන් ආදර්ශයට ගත යුත්තෙමු. ඔවුහු අපට ඉතිහාසය තුළ පාඩම් කියා දුන්නෝ ය. අපි ඒවා උගෙන අපේ අනාගතය සකසා ගත යුත්තෙමු.

බෞද්ධකම යනු ප්‍රතිවාදී මත ඉවසීමයි. අන්මතවලට, ඇදහිලිවලට ගරු කිරීමයි. එසේම, සරු දෙය සරු ලෙසත්, නිසරු දෙස නිසරු ලෙසත් දකිමින් සරු දෙය පමණක් තෝරා ගෙන නිසරු දෙය බැහැර කිරීමයි. බොදු බල සේනා බල ගැන්වීම අන්‍යාගමිකයන්ට තර්ජනය කිරීමක් නොවේ. මෙහි වෑයම වනුයේ තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බුදු සසුනත් බෞද්ධයනුත් ආරක්ෂා කරගැනීමයි. එහෙයින් කිසිවෙකුත් කලබල විය යුතු නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා