සිත ඔප දමන භාවනාව

සිත ඔප දමන භාවනාව

අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාහි සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කල්ප ලක්ෂ සතරක් තිස්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් සිත ප්‍රගුණ කළ බැවිනි. පාරමිතා ධර්ම මඟින් සිදුකරනු ලබන්නේ ලාමක වූ සිත ශ්‍රේෂ්ඨ භාවයට පත් කිරීම යි. එසේ ශ්‍රේෂ්ඨ භාවයට පත්කරනු ලබන සිත ඔප දමන්නේ භාවනාව යි.

බෝධි සත්ත්වයන් වහන්සේ බුදුවන ආත්මභාවයේ දී පාරමිත ධර්ම සියල්ල ම සම්පූර්ණ කොට සිටියද නිවන් අවබෝධයට එයම ප්‍රමාණවත් නොවීය. වප්මඟුල් දවස ආනාපානසති භාවනාව වැඩීමෙන් සිත දියුණු කිරීමෙහි සාංසාරික පුරුද්දක් උන්වහන්සේ සතුව තිබු බව ප්‍රකටය. බුදුවීම සඳහා ද භාවනාව අත්‍යවශ්‍ය කාරණාවක් විය. බෝධිසත්වයන් වහන්සේ වසර සයක් මුළුල්ලෙහි නොයෙක් ආකාරයේ ක්‍රම අනුගමනය කොට බුදුවීමට නොහැකි වූ අතර අවසානයේ තෝරාගනු ලබන සත්‍ය ප්‍රතිපදාවක් හා ක්‍රමයක් වූ ආනාපානසති භාවනාවෙන්ම තම අභිලාෂය මුදුන්පත් කර ගත් හ. එහෙයින් භාවනාව යන උතුම් ක්‍රියාදාමයෙන් තොරව ශ්‍රේෂ්ඨත්වයට පත්නොවිය හැකි බව පැහැදිලි වන්නකි.

යමෙක් භාවනාව හෙවත් සිත වැඩීමෙන් තොරව නිර්වාණාධිගමය සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් එය විද්‍යාමාන නොවන්නකි. ඒ නිසා සසරින් එතෙරවීමට අපේක්ෂා කරන සෑම අයෙක්ම සිත දියුණු කළ යුතු වේ. මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ බුද්ධ දේශනාව තුළ ඉගැන්වෙන භාවනාව පිළිබඳ අවබෝධයක් භාවනාර්ථීන්ට ලබාදීමය.

සම්බුදුවරයකු පහළ වීමට පෙර හෙවත් අබුද්ධෝත්පාද කාලවලද භාවනාව මගින් ප්‍රයෝජන ලබාගත් පුද්ගලයන් පිළිබඳ අසන්නට ලැබේ. බෝධි සත්ත්වයන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කළ මුල් 29 වස ද අබුද්ධෝත්පාද කාලයට අයත් වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ මුල් වසර 35 තුළදී ද භාවනාවෙන් ප්‍රතිඵල ලබාගත් පිරිස් ගැන ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. ආලාරකාලාම හා උද්දකාරාමපුත්ත යනු එසේ භාවනාව පිළිබඳ අවබෝධයක් තිබු ප්‍රමාණික චරිත ලෙස එදා සමාජය තුළ ප්‍රසිද්ධත්වයට පත්වී සිටියහ.

දාරුචීරිය ආදි රහතන් වහන්සේලාගේ අතීත කථාව සිහිපත් කරන විට ද බුද්ධ ශාසනය පිරිහීමට ආසන්න කාලයක බවුන් වඩා හෙවත් භාවනාවේ යෙදී රහත් බවට පත් වූ තෙරුන් වහන්සේලා ගැන අසන්නට ලැබෙන බව සිහිපත් කළ යුතු ය. එහෙයින් බුද්ධ දේශනාවෙහි සසරින් එතෙර වීම පිණිස අවධාරණය කරන ප්‍රධාන කාරණය වන්නේ සිත මනා කොට දියුණු කිරීමයි. අබුද්ධෝත්පාද කාලයන්හි භාවනා විධි දක්නට ලැබුන අතර ඒ භාවනා ක්‍රමය බුදුදහම තුළ ද ඉගැන්වේ. බුදුදහමෙහි ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙකකි.
 

1. සමථ භාවනාව

2. විපස්සනා භාවනාව

මෙහි සඳහන් වු සමථ භාවනාව පිළිබඳ අවබෝධය සඳහා බුදුවරයෙකුගේ පහළවීමත් අවශ්‍ය නොවේ. නුවණැති පුද්ගලයෝ සිත එක් අරමුණක පිහිටුවා ගෙන සිත සමනය කර ගැනීම සිදුකොට ඇත. ආලාරකාලාම සහ උද්දකාරාමපුත්ත යන දෙදෙනාම සමථ භාවනාව පිළිබඳ මනා අවබෝධයක් තිබූ අයයි.

එසේ වූව ද බුදුරජාණන් වහන්සේ සමථ භාවනාව පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් දේශනා කළ සේක. සමථ භාවනාව පිළිබඳ ත්‍රිපිටක පාළියෙහි ඒ ඒ තැන දක්වා තිබෙන කර්මස්ථාන එක් රැස්කොට විසුද්ධි මාර්ගයෙහි කර්මස්ථාන සතළිසක් දක්වා තිබේ. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සිව්බඹ විහරණ, ආහරෙ පටින්කුල සංඥාව, ධාතුකර්මස්ථානය හා අරූප කර්මස්ථාන සතරය යනාදි වශයෙනි. චිත්ත සමාධිය උපදවා ගැනීම පිණිස සමථ භාවනාව උපකාරී වේ. එම කමටහන් සතළිස පහත දැක්වේ.

දස කසිණ
 

1. පඨවි කසිණය

2. ආපෝ කසිණය

3. තෙජෝ කසිණය

4. වායො කසිණය

5. නීල කසිණය

6. පීත කසිණය

7. ලොහිත කසිණය

8. ඔදාත කසිණය

9. ආලොක කසිණය

10. ආකාශ කසිණය

දස අසුභ
 

11 උද්ධුමාතකය

12. විනීලකය

13. විපුබ්බකය

4. විච්ඡිද්දකය

15. වික්ඛායිතකය

16. වික්ඛිත්තකය

17. ගන වික්ඛිත්තකය

18. ලොහිතකය

19. පුලවකය

20. අට්ඨිකය

දස අනුස්සති

21. බුද්ධානුස්සති

22. ධම්මානුස්සති

23. සංඝානුස්සති

24. සීලානුස්සති

25. චාගානුස්සති

26. දෙවතානුස්සති

27. උපසමානුස්සති

28. කායගතාසති

29. මරණානුස්සති

30. ආනාපානාසති

සතර බ්‍රහ්ම විහරණ
 

31. මෙත්තා

32. කරුණා

33. මුදිතා

34. උපෙක්ඛ

සතර අරූප
 

35. ආකාසානඤ්චායතනය

36. විඤ්ඤාණඤ්චායතනය

37. ආකිඤ්චඤ්ඤායතනය

38. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය

39. ආහාරෙ පටින්කූල සඤ්ඤාව

40. ධාතුමනසිකාරයා

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි පරිහරණය කළ දෝලාව

මේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් සඳහා ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයට වැඩම කිරීම සඳහා භාවිත කළ දෝලාවයි.

(සැ. යු. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පරිහරණය කරන ලද මෙම දෝලාව පිළිකුත්තුව රාජමහා විහාරයේ තැන්පත් කර ඇත. මෙම දෝලාව මේ වන විට බෙහෙවින් ම දුබල තත්ත්වයේ පවතී.)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා