අ.පො.ස සා/පෙළ බුද්ධ ධර්ම පාඩම් මාලාව

අ.පො.ස සා/පෙළ බුද්ධ ධර්ම පාඩම් මාලාව

බුදු දහමේ මූලික ඉගැන්වීම්

අංක - 01

ලෝකයේ ලස්සන දේට අපි ආසා කරමු. එහෙත් ඒවා ඒ ලෙසම පවතින්නේ නැති බව අපට බුදුදහම උගන්වයි. එයින් අදහස් කරන්නේ ලස්සන දේ එපා කීම හෝ ඒවාට කැමති නොවන්න කීම නොවෙයි. බක්කුල හාමුදුරුවෝ හරිම ආසයි බුදුහිමි දෙස බලා ඉන්න. බුදුහිමිගේ රූපය දකින්න. ඒත් බුදුහිමි දිනක් බක්කුල හිමිට මේ ගැන මේ විදියට අවවාද කළා. (බක්කුල, යමෙක් ධර්මය දකී නම් හෙතෙම මා දකී.) මෙයින් බුදුහිමි පෙන්වා දුන්නේ රූපය ස්ථිර එකක් නොවන නිසා මැරෙන තුරු ශරීරය දිහා බලන් හිටියත් බුදුකෙනකු දැක ගත නොහැකි බවයි. බුද්ධ ධර්මය කියවන්නා බුදුදහමේ හා බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය දැනගන්නේ ය. බුදුදහමේ මූලික අරමුණ අපේ ජීවිතයේ දුක අවසන් කිරීමයි. පඤ්චස්කන්ධය පිළිබඳ විමසා බැලීමෙන් ඒ බව අපට පැහැදිලි කරගත හැකිය.

මිනිසා හා ලොව සියලු දෑ නිර්මාණය වුණේ කොහොමද?

පඤ්චස්කන්ධය ලෙස බුදුදහම හඳුන්වන කොටස් 5ක එකතුවකි. ලෝකය ජීව ලෝකය හා අජීව ලෝකය ලෙස කොටස් දෙකක් වශයෙන් අපට බෙදා දක්වන්න පුළුවන්. ඒ ජීව ලෝකය නිර්මාණය වන්නේ පඤ්චස්කන්ධය එක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙත් අජීව ලෝකය තුළ අපට පෙනෙන්නේ රූපස්කන්ධය පමණයි. එම ස්කන්ධ පහ පහතින් දක්වමු.

1. රූප ස්කන්ධය – ද්‍රව්‍යය, ශරීරය (භෞතික ශරීරය)

2. වේදනා ස්කන්ධය - සිතට හා කයට දැනෙන දුක් හෝ සැප හෝ උපෙක්ඛා - වින්දනයන්

3. සඤ්ඤා ස්කන්ධය – ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, ඉඳුරන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, අරමුණු හඳුනාගැනීම.

4. සංඛාර ස්ඛන්ඛය - සිත, කය, වචන තිදොරින් කරන කුසල අකුසලවලට පසුබිම්වන ශක්තිය

5. විඤ්ඤාණ ස්කන්ධය – ඉඳුරන්ගෙන් හොඳ නරක අරමුණු ගනිමින් ක්‍රියාත්මක වන මනස

ජීවලෝකය කය හා මනස යන අංග දෙකින් ක්‍රියාත්මක වේ. එහි රූපස්කන්ධය නියෝජනය කරන්නේ කය යි. මනස කොටස් 4 කින් විග්‍රහ කරයි. එනම් වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ 4 යි. අජීව ලෝකය තුළ රූප පමණක් ඇති නිසා මනස ක්‍රියාත්මක වීමක් නැති නිසා රූපස්කන්ධය පමණක් ඇතැයි කියයි. මේ ස්කන්ධ 5 හි ස්ථිරව පැවැත්මක් නැත. දුක් සහගතය. සදාකාලික කිසිවක් මෙහි නැත. බුදුරජාණන් වහන්සේ මෙය පැහැදිලි කිරීමට පස්වග භික්‍ෂූන්ට අනන්තලක්ඛණ සූත්‍රය හෙවත් අනාත්ම ලක්‍ෂණය පෙන්වාදෙන සූත්‍ර දේශනාව කරන ලදහ. එහි මෙසේ දැක්වේ. (අනන්තලක්ඛණ සූත්‍රය) “මහණෙනි, රූපය ආත්ම නොවේ. ආත්ම නම් එය රෝගී වන්නේ නැත. රූපය අප කැමති පරිදි නොපවතී. ඒ අනාත්ම නිසාය. මහණෙනි, රූපයේ අනාත්ම බව ප්‍රඥාවෙන් දකින්න. දැක නො ඇලෙන්නාට විමුක්තිය ලබාගත හැකිය.”

ඉහත පංචස්කන්ධ ඉගැන්වීම අනුව අප මේ ගැන තේරුම් ගත යුතුය. මිනිසෙකු හෝ සතෙකු ගැන සලකා බැලුව හොත් මිනිසා හෝ සතා යනු ස්කන්ධ පහකි. ස්කන්ධ 5 වෙන් කොට බැලූ විට එහි වෙනත් ඉතිරිවන දෙයක් නැත. ස්කන්ධ පහම නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. එකාකාරව පවතින යමක් මිනිසා තුළ නොපෙනේ. සතෙකු තුළද එසේය. කය හා මනස වශයෙන් ආකාර දෙකක් වශයෙන් ගත්තත් එය එසේමය. කය හා මනස නිතර වෙනස් වේ. ස්ථිර එක අයුරින් නොපවතී. අප්‍රාණවාචී ගසක් හෝ ගලක් දෙස බැලුවත් එහි පෙනෙන රූප ස්කන්ධය නිතර වෙනස් වේ. ඒකාකාරව නොපවතී. අජීවී ද්‍රව්‍යවල ඇත්තේ රූපස්කන්ධය පමණක් යැයි ඉහතින් කියන ලදී. ඉහතින් දැක්වූ අනන්තලක්ඛණ සූත්‍රයේ දී බුදුහිමි අපට පෙන්වා දෙන්නේ මේ ස්ථිර නැති ලෝක ස්වභාවය ප්‍රඥාවෙන් දකින ආකාරය. මසැසින් පමණක් ඒ ස්වභාවය පෙනුනත් තේරුම් ගන්න බැහැ. එය අවබෝධ කරගන්න ප්‍රඥාව අවශ්‍යයි. ත්‍රිලක්‍ෂණය බුදුහිමි උගන්වන්නේ අපට ප්‍රඥාවෙන් අස්ථිර ලෝක ස්වභාවය දකින්න. අස්ථිර ලෝකයක් දැකීම අසුභ දෙයක් නොවෙයි. අපට කය හා මනස දෙක වගකීමකින් පවත්වාගන්න එය උපකාරයකි. මානසික වේදනා හා කායික වේදනා තේරුම් ගැනීම සැහැල්ලුවෙන් ජීවත් වීමට හේතු වේ. ලෝකයේ ඇත්ත ස්වභාවය දැනගෙන ජීවත්වන්නා සතුටින් ජීවත් වෙයි. උදාහරණයක් ලෙස අප මැරෙන බව අපි දනිමු. එනිසා අප ජීවිතය සැලසුම් කරන්නේ ඒ අනුව සිතාබලාය. එසේ කෙනෙක් නොදන්නේ නම් ඔහු සැමදා ජීවත් වේ යැයි සිතා වැඩ කරයි. එහෙත් මරණාසන්න වන විට ඔහු අපමණ ලෙස දුකට පත් වේ. මැරෙණ බව දන්නා පුද්ගලයා හොඳින් ජීවිතය ගෙවා සතුටින් මියයයි. මේ කරුණු තවත් පැහැදිලි කර ගැනීමට අපි ත්‍රිලක්‍ෂණය ගැන විමසා බලමු.

ප්‍රඥාවෙන් ලෝකය දකින්නේ කොහොමද?

ලෝකයේ ත්‍රිලක්‍ෂණ (ලක්‍ෂණ 3ක්) දැකීමෙන් ප්‍රඥාවෙන් ලෝකය දැකිය හැකිය. ත්‍රිලක්‍ෂණ වශයෙන් බුදුදහම උගන්වන්නේ සමස්ත විශ්වයේම ඇති ලක්‍ෂණ 3කි. ඒවා විමසා බලමු.

1. අනිත්‍ය ලක්‍ෂණය - ලොව ඇති සියල්ලෙහි පවතින වෙනස්වන ස්වභාවය.

උදා – බඩදරුවා, කිරිදරුවා, අතදරුවා, කුඩාදරුවා, ළමයා, තරුණිය, බිරිඳ, මව, ආච්චි, ආත්තා, මලකඳ (උපදින කුඩා දැරියකගේ ලෝක ස්වභාවය මෙහි දැක්වේ)

2. දුක්ඛ ලක්‍ෂණය - වෙනස්වීම නිසා ඇතිවන දුක

උදා – වයසට යාම, ලෙඩවීම, මරණය, දුදන ඇසුර, මිතුරන් හැරයාම, කැමති දෑ නොලැබීම,

3. අනාත්ම ලක්‍ෂණය – ඉහත කරුණු 2 ට අනුව නොවෙනස් වන කිසිවක් විශ්වයේ නැති බව.

අනාත්මවාදය කියන්නෙ කුමක්ද?

ආත්ම පදයේ අරුත් 2ක් තිබේ. මරණයෙන් වෙනස් නොවන දෙය හා තමා යන අර්ථ දෙකයි. ජීවිතයේ යම් සතුටක් ලැබෙන විට එය ස්ථිර දෙකක් යැයි අපට සිතේ. එහෙත් නැවත එය නැතිවී යයි. පඤ්චස්කන්ධය සදාකාලික ස්ථිර නැත්නම් එයින් හැදුන අප තුළ ද ස්ථිර සදාකාලික කිසිවක් තිබිය නොහැකි බව අප තේරුම් ගත යුතුය.

උදා – වාහනයක් යනු කොටස් ගොඩක එකතුවකි. කැලයක් යනු ගස් සමූහයක එකතුවකි. මිනිසා යනු ස්කන්ධ 5ක එකතුවකි.

එම නිසා අස්ථිර වූ කොටස් සමූහයක් එකතු වීමෙන් සෑදී ඇති ලෝකයත් අපේ ජීවිත දෙස නුවණැසින් බලා ප්‍රඥාවෙන් දැක අටලෝදහමට හා ශාරීරික වෙනස්කම්වලට කම්පා අපි නොවෙමු. ජීවිතය ගැන මෙසේ අවබෝධය ඇති කරගැනීමෙන් පී‍්‍රතිමත් ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද යන්න අපට සිතා බැලිය හැකිය. සොබාදහමට කම්පා නොවී ලෝක වස්තුවල නොඇලී සතුටින් ජීවත්වීමට පුළුවනි. ඒ සඳහා ත්‍රිලක්‍ෂණයෙන් ලෝකය දැකිය යුතුය. මේ සම්බන්ධයෙන් අපේ මනසට බොහෝ ප්‍රශ්න ඇති විය හැකියි. බුදුදහම කියවීමෙන් ඒ සඳහා විසඳුම් අපටම සොයාගත හැකිය.

මිනිසා හා ලෝකය අස්ථිර තාවකාලික දුක්සහගත ස්කන්ධවලින් නිර්මාණය වුණේ ඇයි?

කර්මය නිසාය. කර්මය යනු? ක්‍රියාවක්ද? සිදුවීමක්ද?

ක්‍රියාවක් යනු - යම් අදහසක් ඇතිව සිදුකරන දෙයක්

සිදුවීමක් යනු - කිරීමේ අදහසක් නැතිව ස්වභාවිකව සිදුවන දෙයක්

එනිසා කර්මය යනු ක්‍රියාවන්ය. සිදුවීම් නොවේ. බුදුහිමි කර්මය පිළිබඳ මෙසේ දේශනා කර තිබේ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” (නිබ්බේධික සූත්‍රය) මෙහි අදහස “මහණෙනි මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයින් ද වචනයෙන් ද මනසින් ද කර්ම කරයි. ඒ නිසා කර්මයක් වීමට ප්‍රධාන ලක්‍ෂණ දෙකක් අවශ්‍ය වේ. එනම් -

1. චේතනාව තිබීම

2. සිත, කය, වචනය තිදොරින් සිදුකිරීම

මෙසේ චේතනාවක් ඇතිව අප සිදුකරන සියලු දේ කර්ම ලෙස අප සමඟ එන බව බුදුදහම පෙන්වා දෙයි. එම නිසා හොඳ චේතනාවෙන් කරන දේ සෙවණැල්ලක් මෙන් සහනයද නරක චේතනාවෙන් කරන දේ ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් දුකද ඇති කරයි. එනිසා යහපත් චේතනාවෙන්ම කටයුතු කිරීමට අප පුහුණු විය යුතුය. බුදුදහම අනුව බොහෝ විට මිනිසාට සැප දුක ඇති කරන්නේ වෙන කෙනකු නොව, තමන් විසින්ම සසර කරගත් කර්මයයි. අපේ සිතේ පහළ වන චේතනා කොටස් දෙකකට බෙදිය හැකිය.

1. කුසල චේතනා -

උදා – අලෝභ (පරිත්‍යාගය) / අදෝස (මෛත්‍රිය) / අමෝහ (ඇත්ත ඒ ලෙසම දැකීම)

2. අකුසල වේතනා -

උදා - ලෝභ (තණ්හාව) / දෝස (වෛරය) / මෝහ (ඇත්ත ඒ ලෙසම නොදැකීම)

මේ කුසල් හා අකුසල් කියන කොටස දෙකම අපට කර්ම වශයෙන් එකතු වේ. අලෝභ – අදෝස - හා අමෝහ යන කරුණු තුන ත්‍රිවිධ කුසල මූල නමින් හඳුන්වයි. කුසල් ඇතිවීමට ඒවා මූලික වන නිසාය. එසේම ලොභ දෝස හා මෝහ යන තුන ත්‍රිවිධ අකුසල මූල නමින් හඳුන්වයි. ඒවා අකුසල් ඇති වීමට මූලික වන නිසාය. අපේ කර්ම ශක්තිය නිවැරැදිව පවත්වාගෙන යාමට නම් අප කළ යුත්තේ කුසලමූල නිතර සිත තුළ පවත්වා ගැනීමයි. අකුසලමූල සිතට ඇති වූ කල්හි සිදුවන්නේ අකුසල්ය. ඒවා බොහෝ සෙයින් හානිකරන්නේ තමන්ටමය. මෙලොව ජීවිතයේ සතුට සම්පූර්ණයෙන්ම නැති කර දමන්නට ඒ අකුසල මූලයන් සමත් වේ. සතුටින් ජීවත් වීමට නොයෙක් දේ කරන අප මේ ගැනත් සිතා බලා කටයුතු කරන්නේ නම් ඉතා පහසුවෙන් ඒ මග සොයා ගත හැකිය. තවද මේ අකුසල මූලයන් හෝ කුසල මූලයන් අපේ සිතට ඇති වූ විට අප කරන්නේ මොනවාද යන්න සිතා බැලිය යුතුය. ඒවා බුදුදහම දසකුසල් හා දසඅකුසල් ලෙස උගන්වනු ලැබෙන, ඊළඟ ලිපියෙන් ඒ ගැන විමසා බැලේ. තෙරුවන් සරණයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා