විලඳ පිදූ පිනෙන් දෙවඟනක් වූ ඇල් ගෙවිලිය

විලඳ පිදූ පිනෙන් දෙවඟනක් වූ ඇල් ගෙවිලිය

මහා කාරුණික වූ අප බුදු පියාණන් දවස රජගහ නුවරට නුදුරු එක් පිටිසර ගම්මානයක දුගී ස්ත්‍රියක් විසුවා ය. ඇල් ගෙවිලියක් සේ කෙත රකිමින් සිටි ඇය දිනක් ඇල් වී කරල් ස්වල්පයක් කඩා ගෙන අවුත් එහි වියැට වෙන් කොට පවිත්‍ර කොට කබලක ලා ළිප තබා ගින්නෙන් රත් කර විලඳ සාදමින් සිටියා ය.

මෙසේ විලඳ පිළියෙල කරමින් සිටි ඇයට, “මවිසින් පිළියෙළ කරන මෙම විලඳ සිල්වත් ශ්‍රමණයන් වහන්සේ කෙනකුට පූජා කිරීමට ඇත්නම් කොතරම් වාසනාවක් ද”යි පින් සිතක් පහළ විණ. එසේ සිතා ඕ තොමේ එම විලඳ පූජාවට සුදුසු වන සේ සූදානම් කළා ය.

රජගහනුවර පිප්ඵලී ගුහාවෙහි වැඩ විසූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධ්‍යාන සමාපත්තියට සමවැදී සත් වන දිනයේ සමාපත්ති සුවයෙන් නැගී සිටින අවස්ථාව එදින විය. උදෑසන දානය සඳහා පිණ්ඩපාතයේ වඩින්නට සූදානම් ව ඒ සඳහා සුදුසු තැනක් දිවැසින් බලන්නේ මෙම ඇල් ගෙවිලියගේ ප්‍රාර්ථනය දුටු සේක.

මෙසේ තවදුරටත් විමසා බලන කාශ්‍යප මහ රහතන් වහන්සේ පිණ්ඩපාතය සඳහා යමක් පිදීමට තරම් ශ්‍රද්ධා සිත් ඇති උපාසිකාවක බවත්, මහත් සම්පත් ලබන්නට තරම් වාසනාවන්තියක බවත් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කළහ. ඉන් පසු උන්වහන්සේ සිවුරු හැඳ පොරවා පාත්‍රය ද අතින් ගෙන ඇල් කෙත සමීපයට වැඩම කොට උන්වහන්සේගේ දර්ශනය ඇල් ගෙවිලියට දැක ගැනීමට හැකි වන අයුරින් පෙනී සිටියහ.

මහ කසුප් මහ තෙරුන් වහන්සේ දුටු ඇල් ගෙවිලිය තම අභිප්‍රාය මස්තකප්‍රාප්ත වූයේ ය යි පස්වනක් පී‍්‍රතියෙන් ප්‍රමුදිත වූවා ය. දානය සඳහා උන්වහන්සේට වැඩ සිටීමට ආරාධනා කළ ඇය සියතින් පිරිසුදුව සැකසු විලඳ උන්වහන්සේ වෙත ගොස් මහත් වූ ශ්‍රද්ධාවෙන් පූජා කළා ය. දානය පිළි ගත් මහ රහතන් වහන්සේ දානයෙහි ආනිශංස පහදා දෙමින් පින් අනුමෝදන් කළහ. මහතෙරුන් වහන්සේට වැඳ නමස්කාර කළ ඕ තොමෝ උන්වහන්සේ වඩිනා මග බලා හිඳ සිත්සේ මහත් ශ්‍රද්ධාවෙන් කළ පින්කම ගැන නැවත නැවතත් මෙනෙහි කළා ය.

දවසේ ඉර මුදුන් වන්නට දෙපැයක් පමණ තිබිය දී මෙම ඇල්ගෙවිලිය කෙත රැකුමෙන් ලද අස්වැසිල්ලකින් සිය පැල්පත් බලා යමින් උදෑසන කරන ලද පින්කම ගැන සිතමින් ගමන් කෙළේ යන මග පසෙක වූ මහ තුඹසක සිටි විෂඝෝර නාගයකු විසින් දෂ්ඨ කරන ලදී. දරුණු නාග විෂෙන් සිහි මූර්ජා වූ ඇය ස්වල්ප වේලාවක දී මිය ගියා ය. සිතා සිටි පින් සිතිවිලි බලවත් වූයේ, තව්තිසා දෙව්ලොව මහත් සම්පත් ඇති දෙවඟනක්ව පහළ වූවා ය. දහසක් දෙවඟනන් පිරිවරා ඇගේ දිව්‍ය ආත්මය අතිශයින් ශෝභාමත් වූයේ, කළ පිනක මහිමය කියාපාන්නාක් මෙන් ඇගේ දිව්‍ය විමානය රන් විලඳ පිරුණු රන් තැටිවලින් මොනවට විසිතුරු වූයේ ය.

දිනක් මෙම දිව්‍යාංගනාව තමන්ට මෙතරම් දිව්‍ය සම්පත් ලැබීමට කුමන පින්කමක් හේතු වූයේ දැයි සිතන්නේ, තමන් මිනිස් ලොව සිටිය දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කරන ලද විලඳ පූජාව නිසා බව දැන තව තවත් එම සම්පත් ස්ථිර කර ගැනීමට අදහස් කළා ය. එසේ අදහස් කොට මිනිස් ලොව ගොස් මහ රහතන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට සිතා ගත්තා ය.

මෙම දිව්‍යාංගනාව දිනක් උදෑසන මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වැඩ සිටින කුටිය වෙත ගොස් උන්වහන්සේ අවදි වන්නටත් පළමුව අවට මුළු පෙත් මං ඇමද ශුද්ධ පවිත්‍ර කළා ය. එක් දිනක් උදෑසන මහ කසුප් මහ තෙරුන් වහන්සේ අවදිවීමටත් පෙර කිසියම් රශ්මි ධාරාවක් ඉදිරිපස දොර යතුරු සිදුරෙන් කුටිය තුළට ගලාවිත් මහත් ආලෝකයක් පැතිර ගියේ ය. තෙරුන් වහන්සේ වහා දොර හැර බලන කල මිදුල අමදිමින් සිටි ඇය දැක කවුරුන්දැයි විමසූ සේක්, දෙවඟන,

“ස්වාමීන් වහන්ස, මම ‘ලාජදේව දුහිතෘ’ නම් වෙමි. ඔබ වහන්සේට උපස්ථානය පිණිස පැමිණියෙමි. ස්වාමීනි, මම දෙව්ලොව පහළ වීමට පෙර මිනිස් ලොව මනුෂ්‍ය දුවක් ව රජගහනුවරට නුදුරු පිටිසර ගමක ඇල් ගෙවිලියක් ව විසූවෙමි. දිනක් මා රැකි කෙතෙහි පැසුන ඇල් වී කරල් කීපයක් කඩා එයින් විලඳ සාදා ඔබ වහන්සේට පූජා කෙළෙමි. එහි අනුසස් සිහිපත් කෙරෙමින් නිවසට යන අතර මග තුඹසක උන් නාගයෙක් දෂ්ඨ කිරීමෙන් එතනම මිය ගියෙමි. එයින් පසු මිනිස් කය හැර දමා දෙව්ලොව මහත් සම්පත් ඇති දෙවඟනක්ව පහළ වූයෙමි.

ස්වාමීන් වහන්ස, ඉතා සුළු වූ දානයක් පිදූ පිනෙන් ලද සම්පත් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් පින් බලාපොරොත්තුව උපස්ථානය පිණිස පැමිණියෙමි.

එබස් ඇසූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙසේ පවසමින්,

“දේවතාවෙනි, ඔබගේ මෙම ක්‍රියාව මම අනුමත නොකරමි. අප වැනි තෙරුන් වහන්සේලාට එය සුදුසු නැත. මතු යම් දවසක එක්තරා දේවතාවියක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ කුටියෙහි මලු පෙත් ඇමද, පැන් පහසුව තබා උපස්ථානයේ යෙදුනාහ යි කතිකාවක් ඇති වීමට පුළුවන. නැවත මෙහි නො පැමිණිය යුතු ය”යි නියෝග කළහ.

මෙවේලේ දෙව්රම් වෙහෙර වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේට දෙවඟන ගේ හැඬීම ශ්‍රවණය විය. කරුණු විමසා බැලූ බුදුන් වහන්සේ රශ්මි ධාරාවක් ඇය වෙත විහිදුවමින් දෙවඟන ඉදිරියේ තමන් වහන්සේගේ දර්ශනයට ඇයට පෙනීමට සැලැස්වූ බුදුරජාණන් වහන්සේ,

“පින්වත් දේවතාවියනි, මාගේ පුත්‍ර මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ ඔබ කෙරෙහි අමනාපයක් නැත. පුහුදුන් මිනිසා මෙවැනි ක්‍රියාකාරකම් දෙස බලන්නේ දොස් සැටියට ය. ජුගුප්සාජනක ලෙසට ය.

පින් දහම් කිරීමෙන් කළ පින් නැවත නැවතත් සිහි කිරීමෙන් එම පින් වර්ධනය කරගත හැකි ය. පින් කරන පින්වතුන්ගේ කාර්යය විය යුත්තේ එය යි” යනුවෙන් දෙවඟන අස්වසාලමින් වදාළ සේක.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා