බුදු දහමේ දැක්වෙන සද්ධා ගුණය

බුදු දහමේ දැක්වෙන සද්ධා ගුණය

බුදුදහමේ සද්ධාව යන වචනයට දිය හැකි සරලම අර්ථය අවබෝධාත්මක පැහැදීම යන්නයි. එමෙන්ම මෙය ආචාර හා මමෝවිද්‍යාත්මක පුළුල් අර්ථ කථනයක්ද දිය හැකි උතුම් වචනයකි. සද්ධාව දේවවාදී ආගම්වල උගන්වනු ලබන භක්තිය යන වචනයට සමාන නොවේ.

සද්ධාව හැඟුම්බර භක්තියක් හෝ විශ්වාසයක්ද නොවේ. එය අවබෝධය තුළින් ඇතිවන සැක රහිත පිළිගැනීමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ තෛර්යානික ශ්‍රී සද්ධර්මය කෙරෙහි ආචාර්ය පුද්ගල සංඝරත්නය කෙරෙහි කෙටියෙන් කියතොත් තුනුරුවන් කෙරෙහි ඇති අවබෝධාත්මක පැහැදීම් ලක්ෂණය සද්ධාවයි.

කාලාම සූත්‍රයේදී යමෙකු ධර්මය කෙරෙහි පැහැදිය යුතු ආකාරයත් විමසා බලා තම නුවනින්ම අවබෝධ කොටගෙන ධර්මය පිළිපැදිය යුතු බවත් සඳහන්ය. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය හෝ අවිචාරවත් අන්ධ භක්තියෙන් නොපිළිගතයුතු බවද විමංසනයම මුල්කොටගෙන සලකා ගත යුත්තක් බවද උන්වහන්සේ දේශනා කළේය. මේ අනුව බෞද්ධ සද්ධාව වූ කලී වීමංසනයම තුළින්ම ඇතිවිය යුත්ක් මිස අන්ධ භක්ති මාත්‍රායක් හෝ විෂය මාත්‍රයක් නොවේ. සද්ධාව දෙයාකාරය. සරලව එය මූලික සද්ධා අමූලික සද්ධා යනුවෙනි. ශක්තිමත් වූ මුදුන් මුලක් හා අනිකුත් ලොකු කුඩා මුල්වලින් පොළොව බදා සිටින ශක්තිමත් ගසක් හෝ මූලික සද්ධාව ඇති අය තුනුරුවන් කෙරෙහි ශක්තිමත්ව බැඳී සිටිති. පොළොව මතුපිට පමණක් මුල්වලින් බැඳුණු දුර්වල ගසක් මද සුළඟින් වුවද බිමට වැටෙන්නා සේ, ඉතා නොවැදගත් කරුණක් මත වුවද අමූලික සද්ධාවෙන් යුතු අය තුනුරුවන් කෙරෙහි ඉක්මනින් අපැහැදීම් ඇතිකර ගනිති.

නිර්වාණාවබෝධය සඳහා යමකු තුළ මුලින්ම පහළවිය යුතු ගුණය වන්නේ ද සද්ධාවයි. සද්ධාව නැතිකෙනා බුදුරජාණන් වහන්සේ ගැන හෝ උන්වහන්සේගේ ධර්මය ගැන තැකීමක් නැත. ඒ ඔවුනට ධර්මය නොවැටහෙන නිසා ය. ඇති දේ ඇති සැටියෙන් දැකීමට බුද්ධිය හා ජාන නැති නිසාය.

තථාගතයන් වහන්සේ සද්ධාව නිවන් කැමැති බෞද්ධයකු තුළ තිබිය යුතු ශ්‍රේෂ්ඨ ගුණයක් ලෙස ධර්මයේ බොහෝ තැන්වල පෙන්වා දී තිබේ.

ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා බුදුරජුන්ගෙන් ඇසූ ප්‍රශ්න අටෙන් පළමුවෙනි ප්‍රශ්නය “කිංසූධ විත්තං පූරිසස්ස සෙට්ඨං” මේ ලෝකයේ මිනිසෙකු ළඟ තිබිය යුතු ශ්‍රේෂ්ඨ ගුණය කුමක්දැයි යන්නයි. එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ “සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං” මේ ලෝකයේ මිනිසකු තුළ තිබිය යුතු ශ්‍රේෂ්ඨතම ගුණය විය යුත්තේ සද්ධාව යන්නයි.

ආලවක යක්ෂයාගේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණු පසු ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇතිවිය. උන්වහන්සේගේ අසීමිත බුද්ධ ශක්තිය කෙරෙහි අවබෝධයක් හා විශ්වාසයක් ඇතිවිය. ආලවක යක්ෂයා සෝවාන්වීමට හේතුවූ මූලික සාධකය ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිකරගත් අපරිමිත සද්ධාවයි.

කසී භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේට “මහණ ඔබ අනුන්ගෙන් යැපෙන කෙනෙකුය” අපමෙන් අතපය වෙහෙසා වපුරා අස්වනු නෙළාගන්න” යැයි පරිභව කරනවිට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ. “බමුණ ඔබ වී වපුරන්නාක් මෙන් මමද සද්ධාව නැමති බීජය වපුරා නිවන නැමති ඵල නෙළාගන්නා බවය.” ත්‍රිවිධ රත්නය මනාව සරණගිය උතුමා උපාසක තත්ත්වයට පත්වේ. කරුණු පහකින් යුක්ත වූ උතුමා උපාසක රත්නයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. මෙහි පළමුවන කරුණ “සද්ධාව ඇත්තකු වීමයි.”

සද්ධා ධනං යනුවෙන් දැක්වෙන පරිදි සද්ධාව උතුම් ධනයකි. මේ ලෝකයේ යමකු සතු රන්, රිදී, මුතු, මැණික් මිල මුදල් වැනි දෑ යහපත පිණිස මෙන්ම අයහපත පිණිසද හේතුවන තාවකාලික ධනයයි.

මෙලොවත් පරලොවත් දෙකටම හිත සුව පිණිස පවතින මහාර්ඝ ධනය සප්ත ආර්ය ධනයයි. ලෞකික සම්පත්වලින් මිල මුදල්වලින් දුබල වුවද ආර්ය ධනය ඇති උතුමා මහා ධනවතෙකි. පොහොසතෙකි. ලෞකික ධන සම්පත් කොතෙක් තිබුණත් ආර්ය ධනය නැති පුද්ගලයා දුර්ගයෙකි. දිළින්දෙකි. ආර්ය ධනය සෙවීම දුෂ්කරය. ලෞකික ධනය සෙවීම එතරම් දුෂ්කර නැත. අප වීර්යයෙන් රැස් කළ යුත්තේ “සද්ධාදී ආර්ය ධනයයි”.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා