ධර්ම සාකච්ඡා

ධර්ම සාකච්ඡා

බෞද්ධයන්ට දෛනික ජීවිතයේ දී ඇතිවන ගැටලු කිහිපයකට මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමියෝ මෙසේ පිළිතුරු සපයති.

බුදු පිළිම තැබීම සඳහා නිශ්චිත දිශාවක් තිබේ ද?

සැබවින්ම එවැනි දිශාවක් නැත. සිද්්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු ලබා තිබෙන්නේ නැගෙනහිර දිසා අභිමුඛව, ඒ වගේම බුද්ධ කාලයේ සිටි සිටුවරු, රජවරු බුදුරජාණන් වහන්සේ උදෙසා නැගෙනහිර දෙසට මුහුණලා ආසනය පනවලා තිබෙන බවත් සඳහන් වෙනවා.

නමුත් නැගෙනහිර දෙසට ආසනය පැනවූ නිසා හෝ බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිසාවට මුහුණලා වැඩ සිටි නිසා හෝ බුදු පිළිමය නිශ්චිතව එම දිසාවට තැබිය යුතුයි කියලා නියමයක් නැහැ.

ඒ නිසා බුදු පිළිම ඉදිකරද්දී, පිළිම තැන්පත් කරද්දී නිශ්චිත දිශාවක් ගැන සිතා කලබල විය යුතු නැහැ. එහිදී මනස අවුල් කරගත යුතු නැහැ.

අවශ්‍ය වන්න් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදීම යි. බුදු ගුණ මනසිකාරය යි. ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ දකින්න, බුද්ධ චරිතයේ අංශු මාත්‍රයක් හෝ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. දිසාවල වටිනාකමක් හෝ දිසාවල විශේෂ ආනුභාවයක් බුදු දහම අගය කරන්නේ නැහැ.

බුද්ධ පූජාව තැබීමෙන් පසු අනුභවය සුදුසු ද?

බුද්ධ පූජාව තැබිය යුත්තේ ජීවමාන බුදුහාමුදුරුවන්ට කරන පූජාවක් ලෙස සලකලයි. පූජාව තැබීමට පළමුව පූජාවෙන් පසු කුමක් කරන්නේ ද යන කල්පනාවට නොයා යුතුමයි.

ඒ වගේම තමන් පූජා කරන දානය බුදුරජාණන් වහන්සේ වළඳනවා යන හැඟීම ඇති කරගෙන ඉතාමත් ශ්‍රද්්ධාවෙන් යුතුව තමයි මේ බුද්ධ පූජාව තැබිය යුත්තේ. නමුත් කුමන අවස්ථාවකවත් පූජා කරන දානය තමන්ගේ පරිභෝජනයට ලබාගැනීමේ අදහසක් ඇති කර ගැනීම සුදුසු නැහැ.

තමන් පූජා කළ දානය අසරණ පුද්ගලයෙකුගේ කුසගින්න නිවන්න යොදවන්න පුළුවන් නම් එහි වරදක් නැහැ. නමුත් පූජාව සිදු කළ තැනැත්තාම එය පරිභෝජනය කිරීම සුදුසු දෙයක් නොවෙයි. මක් නිසාද පූජා කිරීම යනු අත්හැරියා යන අදහස යි.

අත් හැරපු දෙයක් කුමන ආකාරයකින් වත් තමන් සතු කර ගැනීම සුදුසු නැහැ. ඒ වගේම බුද්ධ පූජාව, දේව පූජාවක් ලෙස පටලවා ගත යුතු නැහැ. දේව පූජාවේ දී කපු මහත්වරු පූජා වට්ටිය සහිත යම් කොටසක් පරිභෝජනය සඳහා නැවත ලබාදෙනවා. නමුත් බුද්ධ පූජාව යනු දේව පූජාවක් නොවෙයි.

මෛත්‍රී බෝසත් වන්දනාව බුදු දහමට ගැලපෙනවා ද?

ගෞතම බුදුරජාණන් වහන්සේ මෙතරම් පැහැදිලි ධර්මයක් දේශනා කර තිබිය දී එය ඉක්මවා මෛත්‍රී බෝධිසත්ව වන්දනාව සඳහා යොමුවෙනවා නම් මේ ගෞතම බුදුහාමුදුරුවන් ගෙන්, මේ බුද්ධ ශාසනයෙන් අපිට යමක් කරගත නොහැකි ද යන ගැටලුව මෙහිදී මතු වෙනවා. මෛත්‍රී බෝධිසත්වයන් තවම මග ඵල ලාභී උත්තමයෙක් නොවෙයි.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් ප්‍රකාශ කරන විට අපි මෛත්‍රී බෝධිසත්වයන්ටත් මෙත් වැඩුවා වෙනවා. මෛත්‍රී බෝධිසත්වයන්ට වුවත් මෛත්‍රිය නැමැති පූජාව පිරිනමන්න පුළුවන් නම්, උන්වහන්සේටත් මෛත්‍රිය ඵල කරන්න පුළුවන්නම් එය තමයි උපරිම පූජාව වන්නේ. කිසිම සතෙකු පිළිබඳ මෛත්‍රියක් නොමැති පුද්ගලයෙක් මෛත්‍රී බෝධි සත්ව වන්දනාවක, පූජාවක යෙදුණත් ඔහුට කිසිම දවසක මෛත්‍රී බුදුහාමුදුරුවෝ දකින්න හෝ උන් වහන්සේගේ ධර්මයෙන් මාර්ග ඵලයක් හෝ ලබාගන්න බැහැ.

සාංඝික දානයක් සඳහා භික්ෂූන් වහන්සේ කොපමණ අවශ්‍යද?

මජ්ක්‍ධිම නිකායේ දක්ඛිණවිභංග සූත්‍රයේ දී, සාංඝික දානයක් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ දේශනා අපට හමුවෙනවා. එහි සාංඝික දාන 7 ක් පිළිබඳව විස්තර කෙරෙනවා. බුදු හාමුදුරුවෝ වැඩ සිටි කාලයේ, බුදු හාමුදුරුවෝත්, මහා සංඝරත්නයත් වඩම්මවලා දෙන සාංඝික දානය ඉන් එකක්.

බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑ පසුව භික්ෂු භික්ෂුණි මහා සංඝරත්නය වඩම්මවලා දෙන සාංඝික දානය තව එකක්. ඒ වගේම නිශ්චිත ගණනක් නොමැතිව භික්ෂූන් වහන්සේලා පමණක් වඩම්මවලා දෙන සාංඝික දානය, භික්ෂූණීන් වහන්සේලා පමණක් වඩම්මවලා දෙන සාංඝික දානය භික්ෂු භික්ෂුණීන් වහන්සේලා නිශ්චිත ගණනක් වඩම්මවලා දෙන සාංඝික දානය ආදී වශයෙන් මේ සාංඝික දාන වර්ග කොට දක්වා තිබෙනවා. නිශ්චිත ගණනක් මිම්මක් ඇතිව දෙන සාංඝික දානයක් ගැන මෙහිදී විස්තර කෙරුණද ගණන කීයද කියලා සඳහනක් නැහැ.

එහෙම ගණනක් සඳහන් කර නැත්තේ පන්සලකට ගොස් පස්නමකට සාංඝික දානයකට ආරාධනා කළහොත් ඒ පන්සලේ ස්වාමීන් වහන්සේට පස්නමක් ලබා දෙන්න නොහැකි නම් ලබාදෙන්න හැකි දෙනම නම් ඒ දෙනම වඩම්මවලා සාංඝික දානය දෙන්න වෙනවා. සාංඝික වීම හෝ සාංඝික කිරීම භික්ෂුවට හෝ භික්ෂූණියට අදාළ දෙයක් නොවෙයි. යමක් පෞද්ගලිකව පූජා කරනවද? එසේත් නැතිනම් සාංඝිකව පූජා කරනවද යන්න තීරණය කරන්නේ දායකයන්.

ඒ වගේම එයට ආධ්‍යාත්මික හැඟීමක් උවමනාවක් අවශ්‍යයි. භික්ෂූන් වහන්සේලා 500 නමක් වඩම්මවලා වුවත් දායකයා මේ දානය පූජා කරන්නේ යම් නිශ්චිත භික්ෂුවකට පෞද්ගලික වශයෙන් කියලා හිතනවා නම් එතන සාංඝික දානයක් නැහැ. භික්ෂූන් වහන්සේලා කීනමක් වැඩියත්, ඒ අතර සාමණේර භික්ෂුවක් සිටියත් එය සාංඝික දානයකට බාධාවක් නොවෙයි. කිසිම භික්ෂුවක් නැතත් මේ පූජාව සිදු කරන්නේ මහා සංඝයා උදෙසා කියා සිතනවා නම් එයිනුත් සාංඝික ආනිසංස ලබාගත හැකි බවට අදහසක් රේරුකානේ චන්දිවිමල හාමුදුරුවෝ ඉදිරිපත් කර තිබෙනවා. සාංඝික දානය පූණ්‍ය කර්මයක්. ඒ නිසා නිශ්චිත භික්ෂූන් ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ඒ වගේම මෙයට සාමණේර, උපසම්ප්‍රදා භේදයක් අවශ්‍යත් නැහැ. තිබිය යුත්තේ දායකයාගේ හැඟීම, උවමනාව පමණයි.

ලෝක විනාශය සැබෑවක් ද?

විනාශය යන්න සිංහලයට ඇවිත් තිබෙන්නේ වෙනස්වීම ලෙසයි. වෙනස්වීම ;ලීක ස්වභාවයක්. පුංචි දරුවෙක් ගතහොත් ඔහු ළමාවිය, තරුණ විය, වැඩිහිටි විය සහ මහලුවියට පත් වී අවසානයේ මරණයට පත්වෙනවා. මෙය ලෝකය තුළත් සිදු වෙනවා. “සබ්බේ සංඛාරා අනිච්චා” යන්නෙන් කියවෙන්නේ සියල්ල වෙනස්වෙන අනිත්‍ය බවයි. ලෝකයේ වෙනස්වීම දැඩිව, තීව්‍රව දැනෙන අවස්ථාවක් තමයි ලෝක විනාශය කියන්නේ. ඇතිවෙන හැම දෙයක්ම සුළු සුළු වශයෙන් වෙනස්වෙලා දැවැන්ත විනාශයක් සිදුවෙන්න පුළුවන්. නමුත් එය කුමන වෙලාවක කෙසේ සිදුවෙනවද යන්න පිළිබඳ නිශ්චිත දින වකවානු අපේ ධර්මය තුළ සඳහන් වෙලා නැහැ.

බුදුහාමුදුරුවෝ ලෝකය ගැන දේශනා කරද්දී මේ විශ්වය, අනන්ත අපරිමාණ ග්‍රහලෝක ගැන සාකච්ඡා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අචින්තෙයි්‍ය සූත්‍රයේදී දේශනා කළේ මේ අපරිමාණ ලෝකය පිළිබඳ සිතන්න ගියොත් උමතු වෙන බවයි. ලෝකය තිබෙන්නේ විඥාණය සහිත මේ ශරීරය තුළ බව උන්වහන්සේ දේශනා කළා. ලෝක විනාශ නොවුණත්, ග්‍රහලෝක කඩාපාත් නොවුණත් අපේ ආධ්‍යාත්මික ලෝකය විනාශ වෙලා නම් අපි අසරණයි. යම් මොහොතක ලෝකය විනාශ වෙද්දී අපිට මෛත්‍රී සිතින් සියලු සත්ත්වයන්ට මෛත්‍රිය, කරුණාව පතුරුවන්න පුළුවන්නම් ලෝකය විනාශ වී ගියත් අපේ ඊළඟ ආත්ම භවය සුවපත් කරගන්න හැකිවේවි.

ඔබට ඇති දහම් ගැටලු හැකිතාක් කෙටියෙන් අප වෙත දන්වා එවන්න. කාලීන වශයෙන් වැදගත් වන ගැටලු සඳහා වැඩි ඉඩක් ලැබේ. අද සිට ඔබේ දහම් ගැටලු සඳහා ආලෝකෝ උදපාදි පත්‍රයෙන් අවස්ථාව ලැබේ.

සංස්කාරක

අලෝකෝ උදපාදි

ඩී. ආර්. විජේවර්ධන මාවත

ලේක්හවුස්

කොළඹ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා