රාහුල සංවාදය

රාහුල සංවාදය

කුන්ද පුප් සමන් කස්තුරි කල්ක ගල්වමින් – රන්කෙඳි
බන්ද නෙත් සැලේ ලඹ දෙන වියන් පට මතේ
වින්ද යුතු සැපත් ඇතිරිලි යහන් ගැබ ඇතත් – නිරතුරු
නින්ද ඇයි? මෙසේ බිම කිව මැනවි මෑණියේ!

මැණික් රන් රිදී අබරණ පැලඳ සේද සළු - පට (+)පිළි
නොයෙක් රූ සරින් දාසියො සැවොම වැජඹෙති
මලක් වගේ සුසිනිදු බව රඳා ඇති නමුත් – දළ රෙදි
කඩක් කිම්ද? අම්මේ ඔබෙ සිහින් ඉඟ වටේ

කතා වක් නැතිව දිවැවිත් උදේ සිඹින විට – කම්මුල
ඉතා ලුණු රසයි, ඒ ඔබ තැවෙන හද නිසයි
හිතා පියතුමා ගැන වෙහෙසීම ඵලක් නැත - මොළකැටි
පුතා බල බලා සැනසෙනු මැනවි මෑණියේ!

කමල් වන ගැබින් පුස්කර සුවඳ අලළමින් – කැළඹුණු
කුරුල් ලන්ගෙ ගී රස මුසු මන්ද මාරුතේ
මගුල් බෙර හඬක් මෙන් කවුළුවෙන් දිව එතත් - රොද බැඳ
තැවුල් සිතින් පසුවෙනු කිම? අම්මෙ කිව මැනේ!

මැණික් ඔඩම්වල තිබුණත් අමා රස බොජුන් – දිනකට
වරක් බැගින් යම් කිසි රළු දෙයක් ගිල දමා
කුමක් පිණිස මේ දහදුක් විඳින්නෙද අනේ! - මහරජ
දුවක් නොවෙද? අම්මේ ඔබ මහත් දඹදිවේ

නිල් ගුවන් කුසේ බබළන තරු කැලක් ලෙසේ - ලෙල දෙන
මල් පටින් ගොතා හිස සෙසු කුමරියෝ සිටිත්
සිල් අරන් නිතර ගැබ තුළ අඬ අඬා සුසුම් - හෙලමින
දල් වමින් පහන් තනියම මන්ද මෑණියේ?

පියා මා උපන් දිනෙහිම අසෙකු පිට නැඟී - ගඟකින්
ගියා එතර වී රහසින් ඇසළ පෝ දිනේ
එයා බුදු වුණත් කම් නැත අල්වා අත ගෙන – එමි මම
සොයා යන්ට අවසර දෙනු මැනවි! මෑණියේ

ඕලු මලක් මෙන් පරවුණු මහලු සිරුර දැන් – පණ නැති
වීලු ඒ නිසා දැක ගන්නට සිතයි කියා
යාලු වී ගොසින් කැඳවා එන්ට පුතණුවන් – විගසට
කාලුදායි වෙත ආතා පැවරුවා උදේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා