තිරියායේ ගිරිහඬු මහා සෑය

තිරියායේ ගිරිහඬු මහා සෑය

පුරාවෘත්තය – වටදාගෙයක් සහිත කුඩා ස්තූපයක් වූ මෙය පිහිටි ස්ථානය සිංහල ජනතාව නිතුපත්පාන යන නමින් ද දෙමළ ජනතාව කන්දසාමිමලේ යන නමින් ද හඳුන්වනු ලබති. මේ ස්ථානය පුරාතනයේ දී හඳුන්වනු ලැබුවේ ගිරිකණ්ඩ චෛත්‍යය යන නමිනි. මේ බව සඳහන් සංස්කෘත ලිපියක් එහි තිබී සොයාගෙන ඇත.

පිහිටි ස්ථානය – ත්‍රිකුණාමලයේ සිට සැතපුම් 29 ක් උතුරෙන් පිහිටි තිරියාය නමැති දෙමළ ගම්මානයට සැතපුමක් ඈතීන් වූ කුඩා කඳු ගැටයක් මත පිහිටා තිබේ. එයට නැගි කළ සාගරය හොඳින් දර්ශනය වේ.

කාලය සහ නිර්මාතෘ - මෙහි මුල්ම ස්තූපය ද කරවන ලද්දේ බුදුන් වහන්සේට පළමු දානය පිරිනැමූ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දීමය. ඒ අනුව මේ ස්තූපය ලංකාවේ ඉදිවූ ප්‍රථම දාගැබ ලෙස සඳහන් කළ හැකිය.

නිධන් වස්තු - බුදුරදුන්ගේ කේශධාතු නිදන් කර ඇතැයි සැලකේ. මේ පිළි බඳව නිදාන කතාව පූජාවලියේ දක්වා ඇත්තේ මෙසේ ය. “ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නා වූ කලෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගටපිට තබා බත් පිස කා යන කළ දා කරඬුව තිබූ පලින් සොලවාගෙන නොහි මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ. පසුව එතන ගිරිහඬු නම් වෙහෙරක් විය” යනුවෙනි. තපස්සු භල්ලුක වෙළඳුන් විසින් කේශධාතු නිදන්කොට තනවනු ලැබූ දාගැබ ඇප්ගනිස්ථානයේ ඇතැයි සමහරු කල්පනා කරන නමුත් ක්‍රි. ව. 8 වන සියවසේ දී ලියන ලද සංස්කෘත සෙල්ලිපියකට අනුව තිරියායේ ගිරිහඬු සෑය නියම වශයෙන් ම කේශධාතු තැන්පත් කළ දාගැබ බව අනාවරණය වේ.

ස්තූප ඉතිහාසය – මුලින් තපස්සු භල්ලුක විසින් කරවන ලද දාගැබ පසු කාලයේ දී තරමක් විශාල කොට බඳවන ලද බව පෙනේ. මෙහි වටදාගෙය නිර්මාණය කර ඇත්තේ ක්‍රි. ව. 8 වන සියවසේදී ය. වටදාගෙයට පිටත කුළුණු පෙළ රැඳි උසට බඳින ලද වේදිකාවේ අතුරා ඇති ගල් ලෑල්ලක කොටා තිබූ ශිලා ලේඛනයකට අනුව “රක්සල් බතින් ලැමු පනින” යන්න දක්නට ලැබේ. ඒ අනුව ඉන් අදහස් වූයේ කෙසේල් බති විසින් ලැබූ ගල යන්නයි. මෙසේ දිගු කලක් ජනපි‍්‍රයත්වයට පත්ව තිබූ ගිරිකණ්ඩ දාගැබ හා විහාරය 12 වැනි සියවසින් පසුව විනාශයට පත් වූ බව පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ කණ්ඩායමක් තිරියායට පළමුවෙන්ම ගියේ 1930 දීය. එම අවුරුද්දේ එම ස්ථානයේ මැනුම් කටයුතු සිදුකරන ලද අතර එය පුරාවිද්‍යා ආරක්‍ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්විය. 1951 දී මෙහි නඩත්තු වැඩ අරඹා තිබේ. 1953 දී වටදාගෙයි වැඩ කටයුතු බොහොමයක් නිම කරන ලද බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි.

ස්තූපයේ හැඩය සහ විශාලත්වය – වටදාගෙය මැදි වූ ස්තූපය විශාල වූවක් නොවේ. එහි විශ්කම්භය අඩි 32 අඟල් 6 කි. එහි ඇතුළත පිහිටි පැරණි ස්තූපයේ විශ්කම්භය අඩි 24 සහ අඟල් 9 ක් වේ.

ස්තූපයට අයත් වටදාගේ විශ්කම්භය අඩි 79 ක් පමණය. ස්තූප පාදයේ සිට අඩි 3 අඟල් 6 ක් දුරින් වටමළුව තරමකට පහත් කොට ඇත. ඇතුළු වටයේ ගල් කණු පිහිටා ඇත්තේ ස්තූපයට ආසන්නයේ ඇති තරමක් උස් වූ වටමළුවේ ය. ඇතුළු වටයේත් ඉතිරි වී ඇත්තේ එක ගල් කණුවක් පමණක් වුවද පිටත වටයේ සියලු ගල් කණු ඉතිරි වී තිබේ. මේ කණුවල ඇති විශේෂත්වය වන්නේ කඳ සහ හිස කොටස එකම ගලකින් නිමවා තිබීමය. වටදාගෙයට පිවිසීම පිණිස හතර පැත්තේම සඳකඩ පහන්, කොරවක් ගල් හා මුරගල් සහිත දොරටු හතරක් විය. වටමළුවේ උඩටම බැඳුනු ගල් බිත්තිය නිසා මෙය අද්විතීය නිර්මාණයක් ලෙස සැළකේ. මෙම බිත්තියේ මුළු උස පිට පැත්තෙන් අඩි 10 අඟල් 3 කි.

විශේෂත්වය – ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම දාගැබ වීම සහ විශිෂ්ට ගණයේ වටදාගෙයකින් යුක්ත වීම වැදගත් ලක්‍ෂණයක් සේ සඳහන් කළ හැකිය.

බදුල්ලේ ලෝකඩ බුදු පිළිමය

බදුල්ලෙන් සොයාගනු ලැබූ මෙම හිඳී ලෝකඩ බුදු පිළිමය වීරාසන ඉරියව්වෙන් ද දකුණතින් විතර්ක මුද්‍රාව ද දක්වන ඉතා විරල ගණයේ ප්‍රතිමාවක් සේ සඳහන් කළ හැකිය. ලෝකඩ කැබලි ලෙස ගෙන තැනූ කහර වාත්තු ක්‍රමය අනුගමනය කරමින් නිර්මාණය කළ මේ පිළිමය, ලෝහ ප්‍රතිමා අතරින් වැඩිම හානියට පත්ව ඇති පිළිමය යි. ප්‍රතිමාවේ බඳ කොටස බෙහෙවින් ම විනාශයට පත්ව ඇති අතර දකුණු අතේ එක් ඇඟිල්ලක් ද පතුල් සහ සිවුරේ යට කොටස ද විනාශ වී තිබේ.

ඒකාංශ පාරුපනයෙන් යුතු චීවරයේ රැළි සමාන්තරාකාරව දකුණු කිහිල්ලේ සිට වම් උරහිස දක්වා තිබේ. සිවුරු පොටේ කොනක් මලක ස්වභාවයට වම් අතින් අල්ලා සිටින අතර, වමතින් ද ධර්ම දේශනා විලාසයක් පෙන්නුම් කරයි. අඳනය දණහිස ආසන්නයට දක්වා ඇති අතර, සඟල සිවුර පිළිබඳ අදහසක් දක්වා නොමැත.

උසින් අඟල් 22.2 ක් වූ මෙහි දෙදණ හරහා පළල අඟල් 19ක් වේ. කැරලි ගැසුණු හිසකේ සහිත බුදු පිළිමයේ උෂ්ණිෂ ලක්ෂණය ද දැකිය හැකිය. දෙකන් පෙති හොඳින් නිමවා ඇති අතර, ඒවා අග මුදුනෙන් සහ ගෙලෙන් වෙන්ව පවතී.

ඉරි තුනක් සහිත තරමක් මහත වූ ගෙල සහ තීව්‍ර ලෙස නිමවා ඇති දෙනෙත්, නාසය සහ දෙතොල් ද බුදු පිළිමයේ සජිවී බව මැනවින් රැක දෙයි. බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික හෝ කරුණා භරිත බවක් මින් කිසි විටෙකත් පළ නොවෙතත්, මෙහි ඇති වැදගත්කම වන්නේ මේ පිළිමය ලංකාවේ ලෝහ වාත්තු ක්‍රමයේ උසස් ම නිර්මාණයක් වන බැවිනි.

ගුප්ත ශෛලියේ ආභාසය අනුව යමින් වෙනස් ආකාරයකට නිර්මාණය කළ මේ පිළිමය කාලය අනුව ක්‍රි.ව. 6 වන සියවසට තරම් අයත් වේ.

පුල්ලිගොඩ ගුහා විහාර සිතුවම

මේ පුල්ලිගොඩ ගුහා විහාර සිතුවමකි. මේ සිතුවමේ එක ළඟින් අසුන් ගෙන සිටින දේව රූප පහකි. රශ්මි මණ්ඩල සහිත යි. ඒවා රතු පැහැති ය. අණ්ඩාකාර ය. ශීර්ෂාවරණ සහිත යි. එකකට එකක් වෙනස් ය. කර්ණාභරණ, ග්‍රීවාභරණ, හස්තාභරණ සහිත යි. පූන නූල ඇත. හතරවැනි දේවතා රූපය පමණක් නිල් පැහැති ය.

අනෙක් රූප රන්වන් (කහ) පැහැති ය. තුන්වැනි රූපයේ හැර ඉතිරි රූප හතරේ ම දෝතිය ඉරි සහිත ය. දේවතාවන් නෙලුම් මල් මත වැඩ සිටින සේ ඇඳ ඇත.

මේ රූප මඟින් කුමන අවස්ථාවක් පෙන්නුම් කර තිබේ දැ’යි කිව නොහැකි වුවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කර දහම් ඇසීමට පැමිණි දෙවියන් මේ මඟින් පෙන්නුම් කරන බව උගතුන් ගේ අදහසකි.

විශ්වාස කරන ආකාරයට මේ සිතුවම් අනුරාධපුර සමයට අයත් යැයි සැලකේ. මේ සිතුවමේ රේඛා ඇඳ ඇති ආකාරයෙන් ද මෙය එදා සිටි දක්ෂ, පළපුරුදු සිත්තරෙකු ගේ නිර්මාණයක් බව පැහැදිලි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා