සමාජය නිසිමග යන්නේ ගෘහණිය නිසිමග ගිය විටය

සමාජය නිසිමග යන්නේ ගෘහණිය නිසිමග ගිය විටය

සමාජයෙහි සියලුම වගකීම් පුරුෂ පක්ෂයට පමණක් සීමාව පැවති යුගයක් විය. ස්ත්‍රිය යම්කිසි පුද්ගලික දේපලක් ලෙස මිනිසා විසින් පරිහරණය කළ බව ඉතිහාසයෙන් පෙනේ. ඇයට ස්වාධීනත්වයක් නොවීය. ඇයගේ මතයකට ඉඩෙක් නො වීය. මිනිසකුගේ අණසක තුළම ඇයගේ මුළු දිවියමැ ගෙවන්නට සිදුවී තිබිණ. නිදහස යනු කිමෙක්ද කියා හෝ ඇයට සිතන්නට පවා ඉඩෙක් නොවීය. බමුණන්ගේ කුහක නීති රාශියකින් ස්ත්‍රිය බැඳදමා තිබිණ. එහෙත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසු ඒ බමුණුමතයට මරු පහර වැදුණේය. ස්ත්‍රියකට ඇති ආත්මීය නිදහස සාමාජික අයිතිවාසිකම මෙබඳු යයි උන්වහන්සේ සෘජුවම ප්‍රකාශ කළහ.

ස්ත්‍රිය පිළිබඳ අතීත සමාජයේ සැලකීම කෙබඳුදැයි එදා කොසොල් රජුට දියණියක උපන් බව කියා ආරංචිය ගෙන ආවිට බුදුන්වහන්සේ හමුවෙහිමැ දොම්නස්වූ සැටියෙන් වටහාගත හැකිය. බුදුරජාණන් වහන්සේට රජුගේ සිත සනසන්නට විශේෂ බණක් දෙසන්නට ද සිදුවිය.

“මහරජ සමහර ස්ත්‍රීහුද උතුම් වෙති. ඇය රකිනු මැනව. ඥානවන්ත, සීලවන්ත, නැදිමයිලන් දෙවිකොට සලකන, පතිවත රකින ඇයගෙන් බිහිවන දරුවා සමහරවිට රට අනුශාසනා කරන රජෙක් හෝ වන්නේය යි රජු සනසන ලෙස කී බස්ය. ස්ත්‍රියට නිසිතැන ලැබුණොත් ලෝකය ස්වර්ගයක් වන්නේය. ආගම ධර්මයෙකින් ඇතිකළ නොහැකිතරම් සාමයක් ඇයට ඇතිකළ හැකිය. මහාපරාධ කාරයන් ශාන්ත පුරුෂන් කළහැකිය. සුරාසොඬයන් හොඳම අමද්‍යප සේවකයන් කළ හැකිය. එඩිතර හිතුවක්කාර රජ වරුන් පවා එක කඳුලෙකින් නමා ගතහැකි අපරිමිතබලයක් ඇයට ඇති බව ලෝක ඉතිහාසය කියයි. පරම අධර්මිෂ්ටයෙකු පරම ධාර්මිකයකු කළ හැක්කේද ස්ත්‍රියටය. මේ කරුණු සනාථ කිරීමට අමුතුවෙන් සාධක දැක්වීමට උවමනාවෙක් නැත. පුහුදුන් ලේකයම ඇයට අවනත වීම ස්වාභාවික බවකීම පමණක් සෑහේයයි සිතමි.

එසේම ස්ත්‍රියකට මිනිසා මෙලොවදීම නිරයක ජීවත් කරවිය හැකිය. මෙයට අද සමාජයෙහි ජීවත්වන විවාහකයන්ගෙන් සියයට හැත්තෑපහකට වැඩිගණනක් සාක්ෂි දෙනවා ඇත.

අප මෙතෙක් දුරට ඇය සතු බලය ගැන කීවේ ඇය නියම හැඩගැස්මක් ඇතිව, නුවණැතිව ක්‍රියා කළහොත් ඒ බලය යෙදවී මෙන් ;මලොව ස්වර්ගයක් කිරීමට ඒකාන්තයෙන් හැකිවන බව කීම සත්‍යයක් බවට කරුණු පහදනු සඳහාය.

රටක් හෝ ජාතියක් වශයෙන් නියම දියුණුවක් ලබාගැනීමට නම් කළයුතු පළමුවැනි දෙය කාන්තා පක්ෂය හැඩගැස්වීමය. ක්‍රමානුකූල පාලනය නිසා විදුලිය බලයෙන් මුළු ලොවම ආලෝක කළ හැකිය. සියලු දෙනාගේ යහපත සඳහා විවිධ ප්‍රයෝජන ගත හැකිය. අපරික්ෂාකාරී ලෙස ක්‍රියාවේ යෙදවූවහොත් සියල්ල මොහොතකින් විනාශ වී යනු ඇත. කාන්තාව පිළිබඳ තත්ත්වයද එබඳුය. ලෝකයම ආලෝක කළ හැකි අය නොමග ගියහොත් ලෝකයම විනාශ වන බව කිවයුතු නොවේ.

නැකැත් බල බලා වැඩ පසු කිරීම

නක්ඛත්ත ජාතකයෙහි පෙනෙන හැටියට ඉතා පෙර බරණැස් නුවරවැසි පිරිසක් තමන්ගේ කුලපුත්‍රයකුට පිටිසරවැසි පවුලක දුවක් ආවාහ කොට කැඳවා ගෙනෙනු පිණිස දින නියම කොට තබා, එදවසැ එහි යන්නට පළමු ඔවුන්ගේ කුලුපග ආජීවකයකුගෙන් “ස්වාමීනි! අද අපට එක් මංගල ක්‍රියාවක් ඇත, අද යෙදී තිබෙන නැකැත ඊට හොබී දැ”යි ඇසූහ.

හේ කලින් නොඇසීම ගැන කිපී, මේ මඟුලට අන්තරාය කරන සිතින් “අද නොහොබනේ ය, ඉදින් අද කළ හොත් මහත් විනාශයකට පැමිණියැ හැක්කැ”යි කීයේ ය. ඒ මිනිස්සු ඔහු බස් සැබැවැ යි අදහා, දැරිය කැඳවා ගෙන එන්නට එදා නොගියෝ ය. පිටිසරවැසි කුල දැරියගේ නෑදෑයෝ එදා ඔවුන් නොඑන බව දැනැ, “ඔවුහු ම අදට දින නියම කොට තබා නොආවාහූ යැ, ඔවුන්ගෙන් අපට කවර පලදැ” යි සිතා, වෙන අයකුට ඒ කුලදුව පාවා දුන්හ. එයින් දෙවනදා අර නුවරවැසි පිරිස අවුත් කුල දැරිය කැඳවා ගෙන යන්නට ඉල්ලූහ. පිටිසරවැස්සෝ “ඔබ ම දින නියම කොට තබා, ඊයේ නොආවහූ ය, අපි ඔබ නොඑන බව දැනැ ඇය වෙන අයකුට දුන්නම්හ. දැන් ඔවුනට පාවා දුන් දැරිය කෙසේ නම් පෙරෙළා ගෙන එන්නමෝ දැ”යි යන ආදීන් කියමින් ඔවුනොවුන් කලහ කරන අතරැ, නුවර සිටැ එක්තරා කටයුත්තක් සඳහා එහි පැමිණි නුවණැති පුරුෂයෙක් මෙ පවත් අසා “නැකැතින් කවර වැඩෙක් ද? ඒ කුල දැරිය ලැබීම නම් වූ අභිමතාර්ථය සිදුවීම හරි නැකැත නො වේ දැ”යි දක්වමින් මතු දැක්වෙන ගාථාව කීයේ ය.
 

“නක්ඛත්තං පතිමානෙන්තං

අත්ථෝ බාලං උපච්චගා

අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං

කිං කරිස්සන්ති තාරකා.”

මේ ගාථාවේ භාවය නම්: නැකැත් පුදන හෙවත් – නැකැත් බල බලා හොඳ නැකැත උදාවන තෙක් පොරොත්තු වන මූඪයා ඉක්මවා ගෙන අර්ථය - හෙවත් – ඔහු බලාපොරොත්තු වන අභිවෘද්ධිය නැසී යයි, අර්ථයට හෙවත් තමා බලාපොරොත්තු වන ඉත වැඩට හොඳ ම නැකැත නම් ඒ අර්ථයමය හෙවත් එය සිදුකැරැ ගැනීමෙහි යෙදීම මය, අහසේ තරු කුමක් නම් කෙරෙත් ද = කවර නම් අර්ථයක් සිදුකැරැ දෙත් දැ? යනු යි. මේ ගාථාව කී පණ්ඩිත පුරුෂයානම් අප බෝසතාණන් වහන්සේ ය. මෙකලැ බුදුන් වහන්සේට ද මෙ ම උපදේශය අභිමත වන බැවින් ම, යටැ කී සිද්ධියට සමාන සිදුවීමෙක්හිදී මේ ගාථාව වදාළ සේක. එබැවින් මේ උපදේශය බුද්ධ බෝධිසත්ත්ව සම්මත වූ අවවාදයෙකි.

මිනිසුන් උපදනේ නැකැත් බලා නො වේ. උපන්පසු ම නැකැත් බලති. මැරෙන්නේ ත් එසේ ම ය. ඒ අතරැ ලෙඩ වන්නේ ත් සුව වන්නේ ත් එසේ ම ය. ලෙඩට බේත් ගැනීමට නැකත උදාවන තෙක් සිටියොත් එය සුවය ඉක්මැ ගෙන මරණය කරාම යතැ හැකි ය. බඩු විකිණීමට මිලදී ගැනීමට නැකැත් බල බලා සිටියොත් වෙළෙඳාමෙක් නම් නො වේ. පාඩම් කිරීමට නැකැත් බල බලා සිටියොත් ඉගෙනීමෙක් නම් නො වේ. පැරුම් පුරා බුදු වන්නට මහබිනික්මන් කෙළේ මහරෑ යි, නැකතක් බලා නො වේ. බුදු වූයේ බණ දෙසූයේ පිරිනිවියේ ත් එසේ මැ යි. යටැ සඳහන් කළ නක්ඛත්ත ජාතකයෙන් ආවාහ විවාහයනට පවා නැකැත් බැලීමෙන් ප්‍රස්තාවය ඉක්මවා ගැනීම මූඪත්වයක් (=මෝඩකමක්) බව හෙළි විය.

මෙයින් නක්ෂත්‍රය මුළුමනින් බොරුවෙකැයි නො දැක්වේ. නක්ෂත්‍ර නම් අහසේ තරු යි. ඒ තරු පිළිබඳ ශාස්ත්‍රය ද ඒ නමින් කියැවේ. ඒ ග්‍රහතාරකාවන්ගේ උදය – අස්ත – ගමනාදියෙන් සැලැසෙන ප්‍රස්ථාවයෝ නොයෙක් ශුභාශුභ සිද්ධීනට හේතු වියැ නොහැකි නොවෙති. ඒ පලියට සියල්ල ම නැකතින් සපුරන්නට සිතීම දදබවෙකි. සියල්ල ම පූර්ව කර්මයෙනැ යි නො කියැ යුතුවා සේ සියලු සිද්ධීන් නැකතින් ම පිරිසිඳින්නට නො යා යුතු ය.

නුදුටු නොපෙනෙන දෙවියකුගේ පිහිට යැදීම තබා, තමහට තමාගේ ම පිහිට නො මැලි වැ ලබා ගතැ යුතු බව ද – මන්ත්‍රයෙන් යන්ත්‍රයෙන් යාගයෙන් යෝගයෙන් අර්ථ සිද්ධිය කැරැ ගන්නට නො දඟලා තමාගේ ප්‍රඥානුකූල වූ වීර්යයෙන්ම එය ලබා ගන්නට සිතියැ යුතු බව ද - ශීලයෙන් හා ශිෂ්ටාචාරයෙනු ත් නොයෙක් ප්‍රභේද ඇති නානාවිෂයක වූ ප්‍රඥාවෙනුත් හැම තන්හි ජය ලැබෙන බව ද උගන්වන බුද්ධාගම අදහනුවන් විසින් නැකැත් බල බලා වැඩ පසු බැස්වීම නුසුදුසු බව සැලැකියැ යුතු වේ. “අප්පමාදෝ අමතපදං” යි වදාළ සැටියට නැකත එනතෙක් බලා නොහිඳැ, එය උදාවන්නටත් පළමු වැඩේ පටන් ගෙනැ නිමවන්නට සිතට ගතැ මැනැවි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා