අම්පාර මොට්ටාගල දාගැබ විනාශයි

අම්පාර මොට්ටාගල දාගැබ විනාශයි

අම්පාර දිස්ත්‍රික්කයේ අලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන මොට්ටාගල විහාර සංකීර්ණයට අයත් දාගැබක් විනාශයට පත්කොට තිබේ. එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දාගැබ මෙය බව පැවසේ. විනාශකරුවන්ගේ සැලැස්මට අනුව දාගැබ මාධ්‍යයෙන් යැවුණු බැකෝ යන්ත්‍රයකින් දාගැබ දෙබෑකොට තිබේ. දැනට එම ස්ථානයේ දාගැබක් තිබූ බවක් හඳුනාගැනීමට පවා අපහසුය.

දාගැබ පිහිටා තිබූ ප්‍රදේශය ආශ්‍රිතව මුස්ලිම් ගොවියන් පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා පස් කන්ද සමතලාකොට ලියැදි කීපයක් ද තනා තිබේ. එම ස්ථානයේ තිබූ තල් ගස් දෙකක්ද බැකෝ යන්ත්‍රයට හසුවී විනාශ වී ඇති අතර බැකෝ පහරින් බේරුණු සෙල්ලිපිය ගල්තලාවෙහි පසෙක දක්නට ලැබේ. මෙම සාපරාධී විනාශය සිදුකරන ලද පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ට විරුද්ධව නඩු පවරා තිබේ. සිද්ධියට අදාලව පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව පැමිණෙන්නට ප්‍රථම අදාළ සැකකරුවන්ට පුරාවිද්‍යා ආඥාපනත අනුව රුපියල් විසිපන්දහසක අවම දඩයක් නියමකොට නිදහස් කරනු ලැබ ඇත.

මෙම මොට්ටාගල දාගැබ ඓතිහාසික වශයෙන් ඉතා වටිනා පූජනීය ස්ථානයකි. මෙම ස්ථානය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ ද අවධානයට ලක්වූවකි. ඒ අනුව මෙම පුදබිම වටා ඇති ගල්ලෙන් රාශියක් ගවේෂණයට ලක්කොට, ලෙන් ලිපි කිහිපයක් පිටපත්කොට එම වාර්තාව රජයේ සෙල්ලිපි සංග්‍රහයේද පලකර ඇත.

එම ලෙන් ලිපිවලට අනුව කාවන්තිස්ස රජු විසින් ඉදිකළ විහාරස්ථායක් එම ස්ථානයේ පිහිටා තිබූ බව පැහැදිලි වේ. මෙහි ආරාම සංකීර්ණයක් මෙන්ම එකිනෙක ජලය පිරී එකතුවන පොකුණු සංකීර්ණයක් ද තිබී ඇත. මීට අමතරව විවිධ වූ නටබුන් රැසක් ද පිහිටි මෙම ස්ථානය ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් සශ්‍රීකත්වයට හා ජනාවාසයට පත්ව තිබූ ස්ථානයක් බවට සාක්ෂි ගෙන දේ. මොට්ටයාකල්ලු සෙල්ලිපිය මෙහි වැදගත්ම සාක්ෂියයි.

මෙසේ ඓතිහාසික වූ වටිනාකමෙන් යුතු වූ අම්පාර මොට්ටාගල පුදබිම එල්.ටී.ටී.ඊ. යුද ගැටුම් පැවති වකවානුවේදී පවා හෙළ විරුවන් රැකගත්තේ දිවි දෙවැනිකොට මහත් කැපවීමෙනි. යුද ගැටුම් පවතිද්දී පවා එලෙස ආරක්ෂා වී පැවති මේ පුදබිම සාපරාධී විනාශකරුවන් පිරිසකගේ පටු අරමුණට නතුව විනාශ වී යාමට ඉඩහැරිය නොහැකිය.

එහෙයින් මෙවන් අපරාධයක් යළි කිසි දිනෙක නොවන්නට බලධාරීන් වගබලාගත යුතුය. අපරාධකරුවන් වෙනුවෙන් නීතිය නිසිලෙස ක්‍රියාත්මක විය යුතු අතර පෞරාණික විහාරාරාම ප්‍රතිසංස්කරණය කොට රැකගැනීමට උචිත නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම ද යුගයේ අවශ්‍යතාවයකි.

“මහා පරිනිර්වාණ” දුම්රිය ගමන දීර්ඝ කෙරේ

ඉන්දියානු බෞද්ධ සිද්ධස්ථාන වන්දනාව සඳහා එරට දුම්රිය සේවය මගින් විශේෂයෙන් හඳුන්වා දෙනු ලැබූ “මහා පරිනිර්වාණ” ශීඝ්‍රගාමී දුම්රිය ලබන ජනවාරි මාසයේ සිට තවත් බෞද්ධ සිද්ධස්ථාන ඇති ඔඩිෂා හරහා ද ගමන් කිරීමට නියමිතය. උත්තර් ප්‍රදේශයේ හා

බිහාර් ප්‍රාන්තයේ බෞද්ධ සිද්ධස්ථානවලට අමතරව මෙම දුම්රිය ගමන ඔඩිෂාව දක්වා ද දීර්ඝ වනු ඇත.

2007 දී ආරම්භ කරනු ලැබූ මෙම බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමේ විශේෂ දුම්රිය ගමන සඳහා

ඉන්දියානු රුපියල් 7500 සිට 34,000/- දක්වා අයකෙරේ.

මෙම දුම්රිය චාරිකාවට රාත්‍රි 07 ක් ගතවන අතර, එය දින 08 ක චාරිකාවකි.

මෙය ආරම්භ වන්නේ දිල්ලි නගරයෙනි.

බාමියන් බුදු පිළිමය යළි ගොඩනැංවීමට සහාය

2001 වසරේදී තලේබාන් අන්තවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුද්ධ ප්‍රතිමාව නැවත ප්‍රතිසංස්කරණය සඳහා සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පසුගියදා අත්සන් කෙරුණු සංස්කෘතික හුවමාරු ගිවිසුම යටතේ මේ සහාය ලබා දෙනු ඇත. 2001 වසරේදී තලේබාන් අන්තවාදීන් මීටර් 53 ක් උසැති බුදු පිළිමය ඩයිනමයිට් දමා පුපුරුවාලීම සමස්ථ ලෝකවාසී බෞද්ධයන්ගේම කම්පාවට හේතු විය. මේ පිළි මය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජපන් රජය ද මීට පෙර සිය සහයෝගය ප්‍රකාශ කර තිබිණි.

මරණයට කැපවූ ගවයන්ට අභයදානය

පසුගියදා පැවැති හජ් උත්සවය සඳහා හිංසාකාරී අයුරින් අතුරුමගක ප්‍රවාහනය කළ ගවයන් දාහතර දෙනෙකු, ලොරි රථයක් හා පුද්ගලයින් සිව් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය සමත් විය. බොරලැස්ගමුව රථවාහන අංශයේ නිලධාරීන් මුර සංචාරයේ යෙදී සිටින අතරතුර ප්‍රධාන පාරේ ප්‍රවාහනය නොකොට අතුරු මගකට දමා අවහිර කිරීම නිසා අදාළ ලොරි රථය හා සැකකරුවන් හඳුනා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ. මොල්ලිමොලර් නමින් හඳුන්වන හජ් උත්සවයකට යොදා ගැනීම සඳහා ආනමඩුවේ සිට බේරුවල දක්වා මෙම ගවයන් ප්‍රවාහනය කොට තිබේ.

බේරුවල පදිංචි සෙයිඩ් අහමඩ් මොහොමඩ් ඉයුසාන් නමැත්තා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වේ. ඔහු වෙනුවෙන් ඔහුගේ සොහොයුරු ලෙබ්බේ සෙයික් උස්මයිල් නලීෆ්, ලොරියේ රියදුරු අම්බලන්තොට මොහොමඩ් නජීම්, මොහොමඩ් ෆාරිස් ඇතුළුව තවත් සහායක පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වහාම අදාළ ස්ථානයට වැඩම කළ පැපිළියාන සුනේත්‍රා දේවි මහ පිරිවෙණේ විද්‍යායතනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය මරණයට කැපවූ ගවයින්ගේ දිවි බේරා ගැනීම පිණිස ඉදිරිපත් විය.

රටට සෙත් පැතීමේ බෝධි පූජා පිංකම අදයි

රටටත් ජනාධිපතිතුමාටත් රණවිරුවන්ටත් සෙත් පතා බෝධි පූජා පිංකමක් හම්බන්තොට සිංහගිරි විහාරයේදී අද (02 වැනිදා) සවස පැවැත්වීමට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් විසින් කටයුතු සංවිධානය කර ඇත. මෙම පිංකම සඳහා දකුණු පළාත් සභාවේ වෙළඳ අමාත්‍ය ඩී. වී. රෝහණප්‍රිය උපුල් මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

සාංචි බෞද්ධ විශ්වවිද්‍යාලය ලෝක සාමයට පිටිවහලක්

සාංචි බෞද්ධ විශ්වවිද්‍යාලය පිහිටුවීම ලෝක සාමය ඇති කිරීමට පිටිවහලක් බව මධ්‍ය ප්‍රදේශ් මහ ඇමැති සිව්රාජ් සිං චව්හාන් පවසයි. මහ ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කර ඇත්තේ ඉදිවෙමින් පවතින සාංචි බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය සමඟ පැවැති සාකචඡාවේදීය.

මෙම සාංචි බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන විෂය නිර්දේශය තීරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. මෙම විශ්වවිද්‍යාලයේ මුල්ගල තැබීම සිදුකරන ලද්දේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

සබ්බ පාපස්ස යන්ත්‍රය

මේ යන්ත්‍රය ජප කරන කල්හි පිරිසුදු තැනක පූජාසනය පිළියල කොට එහි කකුසඳ කේණාගම කාශ්‍යප ගෞතම යන සිව් බුදුවරුන් උදෙසා පූජා සතරක් ද විෂ්ණු දෙවියන්ට පූජාවක් ද තබා සඳුන් අගිල් තුවරලා යන මේවායින් දුම් දෙමින් සබ්බපාපස්ස ගාථාවෙන් දහස් වරක් ජප කරනු මත්ස්‍ය මාංසානුභවයෙන් වැළකී කරත හොත් වඩා ඵල ලැබෙන බව කියා තිබේ.

මේ යන්ත්‍රය පැළඳීමෙන් අමනුෂ්‍ය දෝෂ මල්වර තනිකම් දෝෂ වින දෝෂ ග්‍රහ දෝෂ භූමි දෝෂ දුරු වී වැඩි දියුණුව සැලසෙන බව කියා තිබේ.

මෙය සියල්ලෙන්ම ආරක්ෂාවට ඉතා හොඳ ය. ලක්ෂ වාරයක් ජපකර ගතහොත් බොහෝ් ගුණ ලැබේ. වෙඩි පවා නො වදින බව කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා