බුදු හාමුදුරුවෝ

බුදු හාමුදුරුවෝ

බුදුන් වහන්සේට අපි බුදුරජාණන් වහන්සේ යැයි කියමු. උන්වහන්සේ ලෞකික රාජ්‍යසම්පත් අත්හැර දමා වනාන්තරයට ගොස් පොරවාගෙන සිටි සිවුරට හා පාත්‍රයට හැර අන් කිසිවකට අයිතියක් නැති තවුසකු බවට පත් ව උතුම් ගුණ ධර්‍ම පූරණ ගුණගරුක හමුදාවක් ඇති කොට ධර්‍මරාජ්‍යයක් ගොඩ නංවා ලෝකයේ අනික් සියලු ම රජවරුන්ට වඩා හාත්පසින් ම වෙනස් විදියේ රජකු බවට පත් වූ හ. “ධර්මරාජ” යනු උන් වහන්සේට ඇති නම්වලින් එකකි.

දිනක් ත්‍රිවේදපාරප්‍රාප්ත සේල නමැති බමුණෙක් බුදුරදුන් හමුව උන් වහන්සේ ගේ මහාපුරුෂ ලක්ෂණ දැක, “භවත් ගෞතමයන් වහන්ස: ඔබ වහන්සේ කෙරෙහි මහා පුරුෂ ලක්ෂණ ඇත්තේ ය. චක්‍රවර්ති රජෙක් වී රාජ්‍යය නොකරන්නේ මන් දැ’යි ඇසී ය. එයට පිළිතුරු දුන් බුදුහු.
 

රාජාහමස්මිං සේල

ධම්මරාජා අනුත්තරො

ධම්මෙන චක්කං වත්තෙමි

චක්කං අප්පතවත්තියං
 

(සුත්ත නිපාත - සේල සූත්‍රය)

යනුවෙන් “සේලබ්‍රාහහ්මණය, මම රජෙක්මි, ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි. අන් කිසිවකු ට පැවැත්විය නොහැකි ධර්ම රාජ්‍යය මම පවත්වා ගෙන යමි” යි කී හ. ඔබතුමා රජෙක් නම් ඔබතුමා ගේ සේනාපතියා කවරෙක් දැ යි සේලබමුණා ඇසූ විට ළඟ සිටි සැරියුත් මහතෙරුන් දෙසට අත දිගු කොට,
 

මායා පවත්තිතං චක්කං

ධම්මචක්කං අනුත්තරං

සාරිපුත්තො අනුවත්තෙති

අනුජාතො තථාගතං

යනුවෙන් “මා විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මා නිසා පහළ වූ සැරියුත් තෙර තෙමේ දරයි” යි කී හ. එබැවින් ම සැරියුත් හාමුදුරුවෝ ධර්මසේනාපති නමින් හඳුන්වනු ලැබූ හ.

කෙලෙස් සොරුන්

ධර්‍මරාජ වූ බුදුරදුන් ගේ ධර්‍ම රාජ්‍යයෙහි අග නුවර ධර්මනගර නම් විය. මේ ධර්මනගරය ගැන මිලින්ද ප්‍රශ්නයෙහි නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජුට මෙ සේ විස්තර කරති. “මහරජාණෙනි, අප ලොව්තුරා බුදුන්ගේ සද්ධර්ම මහනුවර වටා කෙලෙස් සොරුන් වැද්ද නොදෙන සීලමය ප්‍රාකාර ඇත්තේය. ලජ්ජා නැමැති මඩ අගල් ඇත්තේ ය. ඥාන නමැති වාහල්කඩ ඇත්තේය. විය¸ නැමැති, අට්ටාල ඇත්තේ ය. ශ්‍රද්ධා නැමැති ඉන්ද්‍රඛීල ඇත්තේ ය. සිහි නමැති දොර ඇත්තේ ය. ප්‍රඥා නැමැති මහාප්‍රාසාද ඇත්තේ ය. සූත්‍රාන්තධර්ම නැමැති රාජංගණ ඇත්තේ ය. අභිධර්ම නමැති සතර මංසන්ධි ඇත්තේය. විනයධර්‍ම නැමැති විනිශ්චය ශාලා ඇත්තේය. සතර සතිපට්ඨාන නමැති සතර මහාවීථි ඇත්තේ ය.

මහරජාණෙනි, මේ මහා වීදි සතරෙහි නොයෙක් පුෂ්ප ජාති විකුණන ආපනශාලා ය. සුවඳ ද්‍රව්‍ය විකුණන ආපනශාලාය. පළතුරු ජාති විකුණන ආපනශාලා ය. විෂ නසන බෙහෙත්හල් ය. ඖෂධශාලා ය. අමෘත ආපන ශාලා ය. රත්නජාති ඇති ආපනශාලා ය. හැම ද්‍රව්‍යයක් ම ඇති ආපනශාලා ය යි සල්පිල් අටක් වෙයි. මෙයින් මල් ජාති විකුණන සල්පිලෙහි අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුභ ආදීනව, පහාණ, විරාග, නිරෝධ, සබ්බලොකෙ අනභිරත, සම්බ සංඛාරෙසු අනිච්ච, ආනාපානසති, උද්ධුමාතක, විනීලක විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්ත, හත වික්ඛිත්ත, ලෝහිත, පුළවක, අට්සික, මෙත්තා, කරුණා, මුදිතා, මරණානුස්සති, කායගතාසති යන මේ සංඥාවන් අරමුණු කොට ගැනීමෙන් රාග, දෝස, මෝහාදිය ප්‍රහීණ කොට රහත් බැව්හි හිත යෙදවූවන් නැමති පුෂ්පජාතීහු වෙති. සුවඳ වර්ග සල්පිලෙහි සිල්සුවඳින් යුත් සරණසීල, පඤ්චසීල, අට්ඨංගසීල, දසසීල, ප්‍රාතිමොක්ෂසංවර සීල ආදි දසදිසාවෙහි ම හමා යන සිල්සුවඳ ඇති සිල්වන්තයන් නැමැති සුවඳ ද්‍රව්‍යයෝ වෙති. පළතුරු සල්පිලෙහි සෝවාන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමී ඵල, අර්හත් ඵල දැරුවන් නැමැති පළතුරු වර්‍ගයෝ වෙති. විෂ නසන බෙහෙත් හලෙහි දුඞඛසත්‍යය සමුදය සත්‍යය, නිරෝධසත්‍යය, දුඞඛනිරෝධගාමිනි ආය්‍ය¡පටිපදා සත්‍යය යන කෙලෙස් විෂ නසන බෙහෙත් වෙති.

අමාපැන්

ඖෂධ, සල්පිලෙහි සතර සතිපට්ඨාන, සතර සම්ප්පධාන, සතර ඍද්ධිපාද, පඤ්චින්ද්‍රිය, පංචබල, සත්ත බොජ්ඣංග අරිය අට්ඨංගිකමග්ග යන ඖෂධයෝ වෙති. අමෘත සල්පිලෙහි හෙවත් අමාපැන් සල්පිලෙහි “අමතං තෙ භික්ඛවෙ පරිභූඤ්ජන්ති. යෙ කායගාතසතිං පරිභූඤ්ජන්ති” යනුවෙන් බුදුන් වදාළ පරිදි සියලු දෙවිමිනිසුන් ජාති, ජරා, ව්‍යාධි, මරණ සෝක, පරිදේව, දුඞඛ, දොමනස්ස, උපායාස යන මේවායින් මිදවීම සඳහා ඉසින ලද අමෘතය වූ කායගතා සති, අමෘත රසය තිබේ. රත්න සල්පිලෙහි ශීලරත්න, සමාධිරත්න, ප්‍රඥාරත්න, විමුක්තිරත්න, විමුක්තිඥාන දර්ශනරත්න, පටිසම්හිදා රත්න, බොජ්ඣංග රත්න වැනි රත්නජාතීහු වෙති. හැම ද්‍රව්‍යයක්ම ඇති සල්පිලෙහි බුදුරදුන් ගේ නවාංගබුද්ධ වචනය ශාරීරික හා පාරිභෝගික චෛත්‍ය හා සංඝරත්නය ද ඇත.

සතර ඵලය

බුදුරදුන් ගේ ධර්‍මනගරයෙහි වාසය කරන නාගරිකයෝ නම් සූත්‍රාන්තිකයෝ ය. විනයධරයෝ ය. අභිධර්මයෝ ය. ධර්ම කථිකයෝ ය. ජාතකභාණකයෝ ය. දීඝනිකායභාණකයෝ ය. මැඳුම්සඟි භාණකයෝ ය. සංයුත්සහිභාණකයෝ ය, අංගුත්තරභාණකයෝ ය. කූදුගොත්සඟි භාණකයෝ ය. ශීලසම්පන්නෝ යය. සමාධි සම්පන්නයෝ ය. ප්‍රඥා සම්පන්නයෝ ය. බෝධ්‍යංගභාවනාවෙහි ඇලී වසන්නෝ ය. විදර්ශනා වඩන්නෝ ය. අර්ථයෙන් යුක්ත වූවෝ ය. ආරණ්‍යකයෝය. වෘක්ෂමූලිකයෝ ය. අබභෝකාසිකයෝ ය, පලාලපුංජකයෝ ය, සෝසානිකයෝ ය. හෙවත් සොහොනක සිට භාවනා කරන්නෝ ය. සයනයක පිට නොතබා නො නිදා සිටීමෙන් භාවනා කරන්නෝ ය. සතර මාර්ගයට පිළිපන්නෝය. සතර ඵලයට පැමිණියෝ ය. ශෛක්ෂයෝ ය පූර්වෙනිවාසානුස්මෘතිඥානය ආදි ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූවෝ ය. දිවැස් ඇති නුවණ, දිව කන් ඇති නුවණ, අනුන් ගේ සිත් දන්නා නුවණ, පෙර විසූ කඳ පිළිවෙළ ෂඩ්අභීඥාලාභීහු ය. චතුර්විධ ඍධි ඇති මහ රහතන් වහන්සේලා ය. නොයෙක් සමාපත්තීන්හි දක්ෂ වූ මහ රහතන් වහන්සේලා ය. යන මේ පුරුවැසියන් ගෙන් ඒ සද්ධර්මනගරය පිරී ඇත.

මේ නගරයෙහි වැසි ධම¡චක්‍රය පවත්වාගෙන යන ප්‍රඥාපාරමිතාව පිරූ මහරහතන් වහන්සේලා ධර්‍මසේනාපතිවරු වෙති. මහා ඍධිමත් සිව්පිළි සිඹියා පත්, මහරහතන් වහන්සේ පුරෝහිතයෝ වෙති. ධූතංගධර මහරහතන් වහන්සේ විනිශ්චය කරුවෝ වෙති. පෙරුම් පුරා ලැබූ දිවැස් ඇති මහරහතන් වහන්සේ මේ නගරයෙ අලංකාර කරන නගරජෝතිකයෝ වෙති. බහුශ්‍රැත ධර්‍මධර විනය ධර නවංගශාසනධර භික්ෂූන් වහන්සේ ධර්‍මය ආරක්‍ෂා කරන අමාත්‍යයෝ වෙති. රෑ දවල් නො නිදා භාවනාවෙහි යෙදෙන භික්ෂූන් වහන්සේ නගරාරක්ෂකයෝ වෙති. ධර්‍මරත්න නැමැති ධනයෙන් ද පය¸ාප්ති නමැති ධනයෙන් ද යුත් භික්ෂූන් වහන්සේ ලා ධර්‍ම සිටුවරු වෙති.

මහරජ, මෙසේ ධර්‍මරාජයන් ගේ ධර්‍මනගරය මොනවට නිර්මිත ය. සුපරිපූරිත ය. ව්‍යවස්ථාපිත ය. සුරක්ෂිතය සිල් නැති ගුණදහම් නැති සතුරන්ට (හොර වැසියන්ට) ඇතුªල් වීම දුෂ්කර ය.

(මිලින්ද ප්‍රශ්න - මහානුමානප්‍රශ්නය - 556 - 588 පිටු)

බුදුන් වහන්සේ ගේ ධර්‍මරාජ්‍යයේ පුරවැසියන්ට තනතුරු පත් කළ හැටි මුළු ලෝකයේ ම පාලකයන්ට හොඳ ආදර්ශයකි. ඒ පත් කිරීම්වල තමන් ගේ කම, නෑදෑකම, කුලය, ගෝත්‍රය, ජාතිය, පළාත, පක්ෂපාතකම හා ඡන්දය, ද්වේෂය, මෝහය, භය යන මේ කිසි ම කරුණක් බල පා නැත. පත් කළායින් පසු ඒ පත් කිරීම ගැන කිසි කලෙක කිසි කසුකුසුවක් ඇති වී නැත. සැරියුත් - මුගලන් දෙනමට අගසවු තනතුරු දීමේදී “නාහං මුඛංඔලොකෙÀවා දම්මී” “මම මුහුණ බලා තනතුරු නොදෙමි” යි කීහ. රටවල් පාලනය කරණ වර්‍තමාන පාලකයන්, මැති ඇමැතිවරුන්, නිලධාරීන් ඒ ඒ අයට පත්වීම් දීමේ දී බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු ය. ආදර්ශයට ගත යුතු ය. බුදුන් වහන්සේ හැම පත්වීමක් ම හැම තනතුරක් ම දීමේ දී පත්වීම ලබන්නාගේ චරිතයට ප්‍රධාන තැනක් දුන් හ. එහෙත් අනුන් ගේ කිසි ම චරිත සහතිකයක් නො පිළිගත්හ. උන්වහන්සේ ම ඒ අය ගේ චරිතය එක ආත්මභාවයක පමණක් නොව, ආත්මභාව ගණනක, තදින් පරීක්‍ෂා කර බැලූ හ. බලා දක්ෂකම අනුවම, සුදුසුකම අනුව ම, ගුණධර්ම අනුව ම ඒ ඒ තනතුරුවලට පත් කළ හ. මේ ආදර්ශවත් රාජ්‍යයෙහි ගුණ ධර්‍ම අතින් අග තැන් පැමිණි පුරුවැසියන් ගෙන් කිසිවෙක් තනතුරු නො ඉල්වූහ. තනතුරු සඳහා තරග නො කළහ. තනතුරුවලට කෑදර නො වූහ. තනතුරු ලැබුවායින් පසු මුල අමතක නො කළහ. දුබලයන් දුප්පතුන් අමතක නො කළහ. අහසින් ආපු අමුතු පිරිසක් මෙන් බොරු මහන්තත්ව මවා නො ගත් හ. මහාජනයා විඳින දුක හොඳින් අවබෝධ කරගෙන ඔවුන් එයින් මුදාලීම සඳහා රෑ දවල් දෙකෙහි නිදි නැති ව සොහොන්බිම්වල, පාලු අම්බලම්වල ගස් යට, මහ වනයෙහි තණපිට්ටනිවල, ගල්තලාවල කල් ගත කරමින්, රස නීරස නො බලා, ලැබුනු දෙයකින් යැපෙමින්, තමන් සිල්වත් වී, අනුනුත් සිල්වත් කරනු පිණිස තමන් සුඛිතවී අනුනුත් සුඛිත කරනු පිණිස, තමන් සසර දුකින් ගැලවී අනුනුත් සසර දුකින් ගලවනු පිණිස වැඩ කළහ.

අනේපිඬු, විශාඛා ආදී ගිහි භවතුන්ට ද බුදුහු තනතුරු දුන් හ. මේ හැම තනතුරක් ම ගුණධර්ම පිරීම පිළිබඳ දක්ෂතාව උඩ දෙන ලද තනතුරු ය. එබැවින් රාජ්‍යපාලනයේ දී පාලකයන් විසින් අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨතම පාලකයා ධම¡රාජ වූ බුදුන් වහන්සේ යි. පසුගිය අවුරුදු දෙදහස් පන්සීය තුළ ලෝකයෙහි පහළ වූ සියලු ම රාජ්‍ය හා අධිරාජ්‍ය අවුරුදු සීයක්, දෙසීයක් ගිය තැන යුද්ධ ඇති වී, කඩා වැටී, සුණු විසුණු වී ගොස් ඇත. ජය පරාජය, නැඟීම් වැටීම් ආදි නොයෙක් ක්‍රමයේ වෙනස් වීම්වලට භාජනය වී ඇත. එහෙත් අවුරුදු දහසයකට වැඩි කාලයක් බුදුරදුන් අති කළ ධර්‍මරාජ්‍යය සුරක්ෂිත ව පැවැත්තේ ය. පිරිසිදු සංඝ සාසනය යම් තාක් කල් පවත්නේ ද රජකු නැති ව වුවත් මේ ධර්මරාජ්‍යය ඒ තාක් කල් පවතිනු ඇත. රජකු නැතිව අවුරුදු (දෙදාහක්) 2000 වැනි දීර්ඝ කාලයක් පවත්නා එක ම රාජ්‍යය බුදුරදුන් ඇති කළ ධර්ම රාජ්‍යයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා