කර්ම විපාක පලදෙන හැටි

කර්ම විපාක පලදෙන හැටි

දිට්ඨධම්ම වේදනීය, උප්පජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසිකම්ම යැයි විපාක දීමේ කාල වශයෙන් කර්මය සිව් වැදෑරුම්ය. කර්මයක් සිදුකිරීමේ දී චිත්තවීථියක් පහළ වේ.

එසේ පහළ වන චිත්තවීථියෙහි ඇතිවන සිත් පෙළ භවංග, භවංග චලන, භවංගුපච්ඡේද හා ඊළඟට පංචද්වාරික චිත්ත වීථින්හි දී පංචද්වාරාවජ්ජන, චක්ඛුවිඤ්ඤාණ, සොත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණ යන සිතක් ද, මනෝද්වාරික චිත්තවිථීන්හි දී මනෝද්වාරාවජ්ජන යන සිත ද පහළ ව ඒ ඒ අරමුණු අනුව චක්ඛු විඤ්ඤාණ සිත් පහළව සම්පටිඡන්න සන්තීරණාදී වොත්තපණ යැයි සිත් පහළ ව මීළඟට ජවන නාමයෙන් සිත් හතක් වේගයෙන් පිළිවෙළට ඉපිද ඊළඟට එම ගත් අරමුණෙහි ම එල්බ තදාලම්බණ ඉපිද නිරුද්ධ වේ.

මෙහි ජවන සිත් හැර අනෙකුත් සිත් විපාක හා ක්‍රියා බවට පත් වේ. ජවනයන් පමණක් කර්ම බවට පත් වේ. එසේ වන්නේ ලෝභාදිය හෝ ශ්‍රද්ධාදි සිතිවිල්ලක් ජවන වශයෙන් උපදින බැවිනි.

එම නිසා යට දැක්වූ දිට්ඨධම්ම වේදනීයාදී කර්ම හතරට බෙදීයන්නේ මේ ජවන හත බව දතයුතුය. මුල් ජවන සිත ඊට පෙර වූ වෙන ජවනයකින් අනුබල නොලබන බැවින් දුබලය. එම නිසා එය දිට්ඨ ධම්මවේදනීය යැයි කියනු ලැබේ. එම දිට්ඨධම්ම විපාකය කර්මය කළ මොහොතෙහි හෝ එම දිනයෙහි, නැතිනම් දින තුනෙන්, හතෙන්, මාසයකින්, වර්ෂයකින්, වර්ෂ තුනකින්, හතරකින් නැතිනම් මරණයට පෙර කවදා හෝ විපාක දේමය.

බලු පැටව් තම්බා තමනුත් තැම්බුන හැටි

දිනක් මම ගමනක් යන අතර මඟ රත්නපුරයට නුදුරු එක් කුඩා කඩපොළක් ඇති සන්ධිස්ථානයක අවශ්‍ය කරුණකට සුළු වේලාවක් නතර උනෙමි. ඒ මොහොතෙහි කිසිම වැස්සක් නොමැතිව අහස ගුගුරා හෙණක් පිපිරුවා, ස්වල්ප වේලාවකින් ඒ අසල කුඹුරක සිටි වයස 15 තරම් පිරිමි ළමයෙක් මිනිසුන් ඔසවාගෙනවිත් එතන තැබුවා. මා දුටුවේ ඔහු සුදු වී තැම්බී ඇති අයුරුයි. මම එතනින් නික්ම යන විට එම ගමෙහි එක් මිනිසෙක් මා සමඟ කියපු කථාවෙන් මට පුදුම හිතුණා. මෙන්න සිද්ධිය: ඔය හෙණ වැදී ඇති ළමයා ඒ පවුලට ම සිටි එකම පිරිමි දරුවා, ඒ ළමයා දින කීපයකට උඩදී මහ නපුරු වැඩක් කළා, බැල්ලියක් අළුත පැටව් දමා තිබුණා. වතුර හැළියක් උතුරවා ගෙනවිත් අර කිරි පැටවුන්ට වක්කළා පසු ව වළලා දැමුවා. ළමයි දඟකාර බැව් ඇත්ත, නමුත් වැඩිහිටියන් ළමයි මෙබඳු පව්කම්වලින් වළක්වා ගතයුතුය. ඇතැම් මෝඩ මව්පියෝ දරුවන් විසින් කරන මෙබඳු පව්කම් දැක ඒවා දරුවන්ගේ වීර ක්‍රියා මෙන් සලකා පී‍්‍රතිවෙති. නමුත් එම දරුවන් ඒ පවුකම්වල විපාක දරුණු වශයෙන් ලබන කල පී‍්‍රති වූ වරදට මව්පියෝ ද අධික ශෝකයට පැමිණෙත්. එම නිසා දරුවන් කරන පව්කම්වල කොටසක් මව්පියන්ටත් උරුම වන නිසා දරුවන් පවින් වළක්වා ගැනීමට මව්පියන් තරයේ සිතට ගත යුතුය.

නගා මැරූ අයියාට හෙණ

එක් ගම් පියසක එක ගෙදරක අයියා කෙනෙක් තම බිරිඳත් තම සහෝදරියත් සමඟින් වාසය කරති. ස්වාමියා ගෙදර නැතිවිට ස්වාමියාගේ නැගණිය සමඟ යම්යම් වාදභේද ඇතිකර ගෙන ස්වාමියා ගෙදර ආවිට නංගිගේ වැරදි කීම බිරිඳගේ සිරිතයි. දිනක් ඔය විදියට නංගිගේ දොස් සැමියාට කීවිට ඔහු තම නැඟණියට පහරදී මරා රබර් වේලන දුම්ගෙයි තබා රාත්‍රිය පැමිණි කල එම සිරුර ඔසවාගෙන ගොස් රේල්පාරෙන් තබා යන්නට ගියා. ඇය කෝච්චියට හසුවිය. එම ළමයා දුම්රියට පැන දිවිනසා ගත් බව ප්‍රකට විය. දැන් අයියා නඩුවෙන් නිදහස් වී ඇත. නමුත්, කර්මයෙන් ඔහු නිදහස් නූන නිසා කඩුව අමෝරා සතුරෙකු පසුපස එලවන්නාක් මෙන් වේගයෙන් ඔහු පසුපස කර්මය හඹා එයි. එය ඔහු නොදනී.

දිනක් තම අදරැති දරුවා ළංකරගෙන ස්තෝප්පුවේ හාන්සි පුටුව මත සිටින විට හදිසියෙන් අහස ගොරවා හෙණක් වැදී ඔහු මරුතුරුළට ගියමුත් ළඟ සිටි දරුවාට කිසිත් නොවීම පුදුමයෙකි.

විවාහ වූ විට තම සොයුරු සොයුරියන් කෙරෙහි තිබුණු ආදරය සම්පූර්ණයෙන් බිරිඳට පිරිනමා සොයුරු සොයුරියන්ට වෙනස්කම් කරන්නවුන්ට මේ කථාව ඉතා අගනේය.

පියාගේ කෙස් වැටියෙන් අල්ලා එළියට ඇද දැමූ පුතාගේ අත් කුණුවෙයි

මා දන්නා එක් නිවසක සිටියේ මව්පිය දෙදෙනා සමඟ පුතුන් තිදෙනෙකි. ඇතැම්විට එම මව්පිය දෙදෙනා නිවසෙහි අඬදබර කරගැනීම සිරිතයි. දිනක් පුතුන් කිසිවෙක් ගෙදර නැතිවිට මව්පිය දෙදෙනාගේ අඬදබරයක් ඇති විය. අම්මා මෙය ලොකුපුතාට කීමට ගෙයින් බැහැරව පුතු සොයමින් යන අතර මඟ දී පුතා හමු වී සිද්ධිය පැවසුවා. පුතා මෙම සිද්ධිය අසා පියා සමඟ උරණව “අද නම් ඔය නාකියා දොට්ට දමනවා” යනුවෙන් වහසි කියා වේගයෙන් ගෙදර දිවූය. ඊට ටික වේලාවකට පසු ඒ මහලු පියා ගෙයින් පහළට විත් “ඕකා මගේ කොණ්ඩයෙන් අල්ලා ඇද දැමුවා. ඌ ඇල්ලූ කොණ්ඩය මම තියා ගන්නේ නෑ” කියමින් තමන් අත තිබූ පොඩි පිහියකින් කෙස්වැටිය සිඳ දැමූහ. එයින් දින කීපයක් ගත විය. පුතාගේ අත් කුණුවිය. වෙදකම් කළ ද කිසිත් සුවයක් නැත. වැඩපල කිරීම ද අපහසුය. සිංහල අවුරුදු දින ළංවීගෙන එන නිසාත් මට හිතුණා මොහුට යම්කිසි උපදේශයක් දෙන්න. එනම් බුලත් දී පියාට වැඳ ක්‍ෂමාකර ගැනීමයි. මගේ උපදේශයට අනු ව ඔහු ක්‍රියා කළා. එයින් පසු ව වෙදකමෙන් සුව නොවූ අත් කුණුවීම නිකම් ම වියළී පුදුම සහගත ලෙස සුවඋනා. පියාට වැඳීමේ කුශල දිට්ඨධම්ම විපාකයක් ද මෙහි ඇති බව මෙය කියවන්නහුට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත.

වඳිමු බුදුරදාණන්

මහ කුලුණු මෙතින් තුන් ලෝ සතුන් සෙත් සැලැස්වූ
ගුණ ගණ මුළු දුන් එක් වන් සුපුන් පින් පිඩක් වූ
හිය මඟ පැවැසූ සවිනේ ගෙවා දත් නැණින් යුත්
වඳිමු බුදුරදාණන් පා පියුමි අත් මුඳුන් දී

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා