ඉල්ලිස ජාතකය

ඉල්ලිස ජාතකය

ඉල්ලිස ජාතකය පුද්ගලයාගේ කායික සහ මානසික නිරෝගීතාව දුර්වල කිරීමට බලපාන ආකාරය පෙන්නුම් කරයි. එහි වර්තමාන කථාවට පසුබිම් වනුයේ මච්ඡරිය කෝසිය සිටුවරයාගේ කථා ප්‍රවෘත්තියයි. ඔහුට අසීමිත ධනයක් තිබුණද, තණ අගකින් තෙල් බිඳුවක් පමණවත් අනුන්ට නොදෙන කෙනෙකි.

දිනක් ඔහු රාජ සේවයට ගොස් එන අතරතුර මිනිසෙකු උණු කැවුමක් කමින් සිටිනු දැක කැවුම් කෑමට ආශා කෙළේය. මෙය ගෙදර අයට හෝ කිවහොත් තම වස්තුව විනාශ වෙතැයි සිතා නොකියාම සිටියේය. එහෙත් කැවුම් කෑමේ ආශාව බලවත් වූයෙන් ඔහු දිනෙන් දින කායිකව දුර්වල විය. මානසිකව පීඩාවට ලක්විය. දුර්වලව ඇඳෙහි වැතිර සිටි ඔහු වෙත පැමිණි ඔහුගේ බිරිඳ කවර කරුණකින් පසුතැවිලි වන්නේදැයි විමසා සිටි අවස්ථාවේ තමාගේ බිරිඳට වුව තම ආශාව හෙළි නොකළේය. බිරිඳගේ බලවත් ඇවිටිලි නිසාම තම ආශාව හෙළි නොකර බැරිවිය. සිටු බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ ආශාව දැනගත් විට එය ඉතාම සුළු දෙයකැයි කියා කොපමණ කැවුම් සාදන්නදැයි විමසුවා ය. මසුරු කමෙහි බලවත්කම කෙතෙක්ද යත් තම බිරිඳට හෝ කැවුම් නොදීමට තීරණය කළ ඔහු තමාට පමණක් පුංචි කැවුමක් සාදා දෙන ලෙස කීය. අනුන්ට නොදැනෙන සේ එය සාදවා ගැනීමට කල්පනා කළ ඔහු කැවුම් සෑදීමට අවශ්‍ය කෙරෙන කළමනාකරණ රැගෙන දොරවල් වසා උඩ, මහලට නැංගේ ය.

මසුරු සිටාණන් සෝවාන්වීමට හේතු වාසනා දුටු බුදුන් වහන්සේ මුගලන් තෙරුන් අමතා කැවුම් පිසීමට උඩු මහලට ගොස් සිටින සිටාණන්ගේ මසුරුමල බිඳ දෙව්රමට පමුණුවා බුදුන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට කැවුම් වළඳවන ලෙස දැන්වූහ. මුගලන් තෙරුන් වහන්සේ ද සෘද්ධියෙන් වැඩම කොට කැවුම් පිසින ස්ථානයෙහි පෙනී සිටියහ. උන් වහන්සේ දුටු සිටුවරයා දැඩි සේ කම්පාවී මෙවැනි ශ්‍රමණයන්ට බියෙන් උඩුමහලට ආයේ නමුදු එතනට ද ආයේ යයි පවසා තටතට යන අනුකරණයෙන් ගැහි ගැහී කැවුම් නොදෙමි’යි කීය. එහෙත් ආපසු නොවඩින තෙරුන් දුටු සිටුවරයා පුංචි කැවුමක් සාදා දෙන ලෙස බිරිඳට කීය. ඇය හැඳි අගින් පිටි බිඳක් තාච්චියට දැමුව ද එය තාච්චිය පුරා පිපී ගියේ ය. තී පිටි බොහෝ දැමීය යි හැන්ද ගෙන තෙමේම පිිටි ටිකක් දැමීය. එය එයට ද වඩා මහත් විය. එයින් දුකට පත් සිටු පෙට්ටියෙන් පුංචි කැවුමක් ගෙන දෙන ලෙස බිරිඳට කීය. එකක් ගැනීමට සුදානම් වූ විට සියල්ල බැඳී ආයේය. දෙදෙනම එකතුව එකක් ගැනීමට දෙපැත්තට ඇද වෙහෙසව පෙට්ටියම දෙන ලෙස කීය.

එවිට තෙරුන් වහන්සේ තෙරුවන් ගුණ පහදා දන් දීමෙහි විපාක පෙන්වා දුන්හ. පැහැදුනු සිත් ඇති සිටු ගෙයි වැඩ සිට දන් වළඳන ලෙස කීය. බුදුන් වහන්සේ භික්ෂුසංඝයා සමඟ කැවුම් වැළඳීමේ බලාපොරොත්තුවෙන් ජේතවනාරාමයෙහි වැඩ සිටින බැවින් එහි ගොස් දන් පූජා කරන ලෙස මුගලන් තෙරණුවෝ පැවැසූහ. සිටුවරයා බිරිඳ සමඟ දෙව්රම් වෙහෙරට ගොස් සියතින් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් පිළිගන්වා වළඳවා ඔවුහුද අනුභව කළහ. එහෙත් කැවුම් අවසන් නොවීය. සියලුදෙනා අනුභව කොට ඉතිරි වූ කැවුම් ජේතවන දොරටුවෙහි පල්ලමට දැමීය. සිටු දෙපළ බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූහ. මෙම පුවත දහම් සභාවේ සාකච්ඡා වූ අවස්ථාවේ බුදුන් වහන්සේ මුගලන් තෙරුන් පෙරත් මසුරු සිටාණන් හික්මවූහයි වදාරා අතීත ප්‍රවෘත්තිය හෙළි කළහ.

පෙර බරණැස අසුකෝටියක් ධනය ඇති ඉල්ලිස නම් මසුරු සිටුවරයෙක් සිටියේය. ඔහු රා බීමේ ආශාවෙන් ඇලලී සුදුමැලිව කෙට්ටු වී දුර්වලව ඇඳෙහි වැතිරී සිටි අවස්ථාවේ සිටු බිරිඳ කඩපිලෙන් රා කළයක් ගෙන්වා දුනි. තනිවම වනරොදට වී රා බොමින් සිටියදී සිටුගේ පියාණන් දන් පින්කර ශක්‍රව ඉපිද තම කුලපරපුරෙහි පැවැති දන්සැල් තවම පවතී දැයි බලන්නේ තම පුතු ඒ සියල්ල නැතිකර මහා මසුරෙකුව තනිවම රා බොමින් සිටි අයුරු දුටුවේය.

දැන්ම ගොස් ඔහු හික්මවමි යි සිතා ඉල්ලිස වේෂයම මවා ගෙන රජගෙට ගොස් “ස්වාමීනි, මා සතු සියලු ධනය රාජ භාණ්ඩාගාරයට ගනු මැනවැයි කීය. රජු එය ප්‍රතික්ෂේප කළ විට එසේ නොවන්නේ නම් සියලු ධනය දන් දෙන්නේ යයි පවසා අණබෙර ලවා ධනය ගෙන යාමට මහජනයාට අවසර ලබා දුන්නේය. එවිට එක් මිනිසෙකු සිටාණන්ගේම කරත්තයෙහි ඔහුගේම ගොනු යොදා ඇති තරම් ධනය පටවා ගෙන ඉල්ලිස සිටාණන්ගේ ගුණ කියමින් ගියේ ය. ඉල්ලිස සිටු රා බිබී සිටි තැනින් ඔහුගේ කරත්තයෙහි ම ඔහුගේ ගොනු යොදා ඔහුගේම වස්තුව ගෙන යනු දැක වියරුව වෙරි සිඳී ගෙට දිව ගියේය. මිනිසුන් ගෙනයාම සඳහා බඩු පොදි බඳිනු දැක පිස්සෙකු මෙන් ඒ මේ අත දුවමින් කෑ කෝ ගසමින් කෝලාහල කරමින් ‘මම ඉල්ලිස වෙමි’ යි කියා ගෙතුළට පිවිසීමට උත්සාහ කෙළේය. ඉල්ලිස වෙස් ගත් ශක්‍රයාගේ නියමය පරිදි දොරටුපාලයෝ ඔහුට ගෙතුළට පැමිණීමට ඉඩ නොදී තළා පෙළා නෙරපූහ. ඔහු රජු වෙත ගොස් මාගේ ගේ කොල්ල කන්නේ මන්දැයි විමසීය. සිටාණෙනි, ධනය රජගෙට නොගන්නේ නම් දන් දෙන බව පැවැසූයේ ඔබම නොවේදැයි රජු විමසීය. තෙල් බිඳුවකුද අනුන්ට නොදෙන මට මොන දානයක්ද? ඒ දන්දෙන සිටාණන් මෙහි කැඳවා විභාග කළ මැනැවැයි ඉල්ලී ය.

ඒ අනුව දෙදෙනාම රජ ගෙට කැඳවා පරීක්ෂා කළ නමුත් නියම ඉල්ලිස කවරෙකුදැයි දාසි දාස කම්කරු ආදී කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැකි විය. බිරිඳට හෝ දරුවන්ටද හඳුනා ගැනීමට නොහැකි විය. එවිට තමාගේ හිසෙහි ගැටයක් ඇති බවත්, කෙසින් වැසී ඇති එය කපුවා පමණක් දන්නා බවත් ඔහු ගෙන්වා හඳුනා ගන්නා ලෙසත් දැන්වීය. ඔහු ගෙන්වා හඳුනා ගැනීමට කටයුතු කළ නමුදු ශක්‍රයාද ගැටයක් මවා ගත් බැවින් හඳුනා ගැනීමට නොහැකි විය. පිළිසරණක් නොලත් ඉල්ලිස සිහිසුන්ව ඇද වැටුණි.

එවිට ශක්‍රයා රජුට තමන් සක්දෙව් බව පවසා ඉල්ලීස සිටාණන්ට පැන් ඉස සිහිගන්වා “ඉල්ලිසයෙනි, මේ සම්පත් තාගේ නොව මාගේය. මා තොපගේ පියාණෝය. තෙපි මාගේ පුතණුවෝය. මම දන්පින් කොට ශක්‍ර බවට පැමිණියෙමි. තෝ ඒ සියලු දන්වැට නවතා යදියන් එලවා තමනුත් නොකා අනුනටත් නොදී නැසෙන හෙයින් මෙසේ කෙළෙමි. අද පටන් දානශීලාදී පින්කම්හි යෙදෙවයි” අවවාද කෙළේය. ඉල්ලිස සිටු එවක් පටන් දානශීලාදීයෙහි යෙදී මරණෙන් දෙව්ලොව උපනි.

මෙම ජාතක කථාවේ පෙර අපර චරිත ගලපනුයේ ඉල්ලිස සිටාණෝ මෙකල මයුරු සිටාණෝය. සක්දෙවිඳු නම් මුගලන් තෙරණුවෝය. රජ්ජුරුවෝ නම් ආනන්ද තෙරණුවෝය. කපුවාණෝ නම් බුදුරජාණන් වහන්සේ යයි වදාළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා