ධර්ම දානය හා “ආලෝකෝ උදපාදි”

ධර්ම දානය හා “ආලෝකෝ උදපාදි”

යමෙකුට සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නා වූ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදීමට හැකි වන්නේ නම් එය අති විශාල චීවර දානයකි. ඒ අති විශාල ආමිෂ දානයට වඩා එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම, වශයෙන් කරන ධර්ම දානය උතුම් බව පැවසේ.

ජේතවනාරාමය සඳහා අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට වඩා සතර පද ගාථාවකින් පවත්වන ධර්ම දානය උතුම් බව දක්වා ඇත. ඒ කුමක් නිසාද? දානයක් දෙන ඇත්තෝ දහම් ඇසීම නිසාම එවැනි පුණ්‍යකර්මවල යෙදෙති. දහම් නොදන්නා තැනැත්තා කැඳ සැන්දක් පවා පිනට දෙන්නේ නැත.

ඇත්තෙන්ම වසර හයකට අධික කාලයක් පුරා “ආලෝකෝ උදපාදි” ධර්ම සංග්‍රහයෙන් සිදුවූයේ ධර්ම දානයකි. බෞද්ධ පාඨකයා දහමට නැඹුරු කිරීමටත්, දහමෙන් පෝෂණය කිරීමටත් ඒ තුළින් ඔවුනගේ මෙලොව පරලොව දියුණුව සලසා ගැනීම පිණිස යහපත් මාර්ගයක් විවර කර දීමටත් මේ ධර්ම සංග්‍රහය ඉවහල් වූ බව කියන්නේ සතුටිනි. මේ සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාරවලින් ද එය මනාකොට පසක් විය.

වර්තමානයේ බෞද්ධ ග්‍රන්ථවලට, බෞද්ධ සඟරාවලට ඇති පාඨක නැඹුරුව බෙහෙවින් වැඩිය. ඕනෑම පොත් ප්‍රදර්ශනයක දී බෞද්ධ පතපොතට ඇති ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ඒවායේ සංවිධායකයෝ පවසති.

නොයෙක් ප්‍රශ්නවලින් පීඩිතව සිටින මේ සමාජයට දහම් පොත්පත්වලින් ලැබෙනුයේ මානසික විරේකයකි. ඒ මානසික විරේකය ලබාදීමට “ආලෝකෝ උදපාදි” ධර්ම සංග්‍රහයට ද හැකි විය.

මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත් වූ පමණට ගුණ හීනයෝ වෙති. ධර්මය ඇසුරු කළ පමණට ගුණවත් වෙති. කොතෙක් ධනය තිබුණත් ශිල්ප ශාස්ත්‍ර කොතෙක් දැන සිටියද ගුණයෙන් හීන තැනැත්තා සුවඳින් තොර වූ කැලෑ මල සේ නො වටනා පුද්ගලයෙකි. ඇත්තෙන්ම අපේ පාඨකයින්වද “ආලෝකෝ උදපාදි” හරහා ගුණවතුන් බවට පත් කිරීමට හැකි වූ බව පවසන්නේ නිරහංකාරයෙනි.

බුද්ධිමත් බුද්ධිහීන දුප්පත් පොහොසත් ආදී වශයෙන් විෂම ලෙස බෙදී ඇති සමාජයේ දෙදෙනකුට එකම කරුණක් එක සේ නො වැටහේ. මේ වෙනස කර්මයේ බලපෑමයි. එහෙත් කලාතුරකින් ලැබිය හැකි මනුෂ්‍යත්වයත්, බුද්ධෝත්පාදකාලයත්, පින් කළ හැකි සමයත් ලබා ඇති හෙයින් අපි නිවැරැදිව හා අවබෝධයෙන් දහමෙහි හැසිරිය යුතු වෙමු.

මේ සතියේ සිට “ආලෝකෝ උදපාදි” ධර්ම සංග්‍රහය පිටු 20 කින් සමන්විත කලාපයක් ලෙස නව මුහුණුවරකින් එළිදක්වන්නට හැකි වූයේ ද ඔබේ පාඨක ප්‍රතිචාරය නිසා ය. ඒ හරහා ඔබේ දහම් අවබෝධය තවත් පුළුල් කිරීමට අපට ඉඩ ලැබේ. එය සතුටට කරුණකි. මේ සඳහා ගෞරවනීය උපදේශකත්වය සැපයූ ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා විශේෂයෙන් සිහිපත් කළ යුතුය. මේ ධර්ම සංග්‍රහය මීට වසර පහකට පෙර ආරම්භ වූයේ ද එතුමාගේ අදහසක ප්‍රතිඵලයක් ලෙසය.

එබැවින් සියල්ල හරි දැක්මක් ඇතිව උපේක්‍ෂාවෙන් කටයුතු කිරීමට මේ ධර්ම සංග්‍රහය ඔබට ආලෝකයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා