යුරෝපයේ බෞද්ධ දේශය කල්මිකියා රාජ්‍යය

යුරෝපයේ බෞද්ධ දේශය කල්මිකියා රාජ්‍යය

ලෝකයේ බෞද්ධ ජනගහනය දළ වශයෙන් කෝටි හැත්තෑවකි. බෞද්ධ ජනවර්ග 240 ක් පමණ වෙයි. බටහිර රටවල බුදුදහම වැළඳගත් බොහෝ දෙනා තමන් බෞද්ධ බව ප්‍රසිද්ධියේ පවසන්නේ නැත. ජනසංගණනයේ දී බෞද්ධ බව ප්‍රකාශ කරන්නේ නම් ඉහත ගණන ඊට වඩා වැඩි වන්නට ඉඩ ඇත.

ලෝකය පුරා බෞද්ධයන් බොහෝ පිරිසක් විසිරී සිටියත් ඔවුන් අතරින් බොහෝ දෙනා ආසියාතික ජනවර්ගවලින් පැවැතෙන්නෝ වෙති. අතීතයේ දී බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය යුරෝපය දක්වා විහිදී තිබුණි. එහෙත් වර්තමාන ලෝකය දෙස බලන විට බුදුදහම පිළිපදින බොහෝදෙනා ආසියානු රටවලට අයත් ය. බටහිර ලෝකයේ පැතිර පැවති බුදුදහම හා තදනුබද්ධ සංස්කෘතිය ඓතිහාසික සිදුවීම් හා ආක්‍රමණ හේතුවෙන් වශයෙන් ඒ රටවලින් තුරන් වී ඇත.

එසේ වුව ද, බුදුදහම පදනම් කරගෙන පාලනය සිදුකෙරෙන බෞද්ධ රාජ්‍යයක් යුරෝපයේ තවමත් පවතියි. එනම්, කල්මිකියා ජනරජය යි. (ඊඩඥ අඥනභඡතඪජ ධට ම්චතථරඬඪච) නැඟෙනහිර යුරෝපයේ වොල්ගා නදියේ පහළ මිටියාවතේ කල්මිකියාව පිහිටා ඇත. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර (72,000) හැත්තෑ දෙදහසක් පමණ වෙයි. ශ්‍රී ලංකාවට වඩා වර්ග කිලෝමීටර හයදහසකින් විශාල ය. කැස්පියන් මුහුදේ වයඹ දිග වෙරළ කල්මිකියා ජනරජයේ එක් සීමාවකි. කල්මිකියාවේ වර්තමාන අගනුවර වන එලිස්ටා නගරය 1856 දී පිහිටුවන ලද්දකි. රටේ වැඩි කොටසක් තණ බිම්වලින් වැසී පවතියි. එහි ජනගහණය හාරලක්‍ෂ හතළිස්දහසක් පමණ වෙයි. එයින් සියයට 85 ක් බෞද්ධයෝ ය.

ස්ථිර වාසභූමි

කල්මිකියාවේ ඉතිහාසය ඇරඹෙන්නේ 15 වන සියවසේ අග භාගයේදී ය. කල්මිකියාව ජනාවාස වුණේ මොන්ගෝලියාවේ ඔයිරාට් හා චීනයෙන් සංක්‍රමණය වූ ජුන්ග්වාරියා ගෝත්‍රිකයන්ගෙනි. මුල් අවධියේ එඬේරුන් වශයෙන් සංක්‍රමණික ජීවිතයක් ගත කළ ඔවුහු ජිංගීස් ඛාන් රජු යටතේ මොංගෝලියානු අධිරාජ්‍යය බටහිර දෙසට පැතිරෙන විට කල්මිකියා දේශයේ ස්ථිර වාසභූමි පිහිටුවා ගත්හ.

රුසියාවෙන් සහ තුර්කියෙන් කල්මිකියාවට තර්ජන එල්ල වුවත්, මොංගෝලියානු අධිරාජ්‍යයෙන් රැකවරණය ලබා දුන් නිසා 16 වන සියවසේ සිට 17 වන සියවසේ මැද කොටස තෙක් කල්මිකියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවැතුණි. දේශසීමා ව්‍යාප්ත කරගැනීමට වෙහෙසුණ රුසියාවේ සාර් රජවරුන්ගෙන් කල්මික්වරුන්ට නොයෙකුත් හිරිහැර පීඩා සිදුවුණි. එසේම ජර්මානු, කිර්ගීස් සහ කෂාක් ගෝත්‍රිකයන්ගෙන් ද ඔවුන්ට වරින්වර තර්ජන එල්ලවුණි. ඒ හේතුවෙන් බොහෝ කල්මික්වරු මධ්‍ය ආසියාව දෙසට සංක්‍රමණය වූහ. ඒ අවස්ථාවේ ඔවුන්ගෙන් බොහෝ දෙනා සා පිපාසාවෙන් මිය ගියහ. රට අත්හැර නොගිය පිරිස රුසියානු පාලනයට යටත් වූහ. ජාතීන්ට ස්වයං නීර්ණ අයිතිය ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව රුසියානු මධ්‍යම කාරක සභාව විසින් 1920 නොවැම්බර් 04 වන දින කල්මිකියාව රුසියාවට අයත් ස්වාධීන ප්‍රදේශයක් වශයෙන් පිළිගන්නා ලදී.

කල්මික්වරුන් රතු හමුදාවට බැඳුනොත් ස්වාධීනව ජීවත්වීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රදේශයක් වෙන්කර දෙන බවට වී. අයි. ලෙනින් පොරොන්දු වී ඇත. එහෙත් දැඩි මතධාරී කොමියුනිස්ට්වරු එයට එකඟත්වයක් දක්වා නොමැත. මොස්කව් බල අධිකාරියෙන් කල්මිකියාවේ පාලනය ගිලිහීම අහිතකර යැයි ඔවුන් තීරණය කර ඇත. කල්මික්වරුන්ට ස්වාධීන රාජ්‍යයක් ඉල්ලමින් දොර්ෂා අර්බකොව් නමැති බෞද්ධ ගුරුවරයෙක් ඔවුන්ගේ තීරණයට එරෙහිව නැඟී සිටියේය. බෞද්ධයන්ගේ සිත් දිනාගැනීමට සෝවියට් බලධාරීන්ට අවශ්‍යතාවයක් තිබේ නම්, ලේ වැගිරීමකින් තොරව කල්මික්වරුන්ට ස්වයං පාලන අයිතිය දිය යුතු යැයි ඔහු කීය. එයින් කෝපයට පත් සෝවියට් කොමියුනිස්ට් පාලකයෝ කල්මික් බෞද්ධයන්, කොමියුනිස්ට්, විරෝධී ජාතිවාදී පිරිසක් යැයි චෝදනා කරමින් ඔවුන්ගේ දේපොළ රාජ සන්තක කොට බෞද්ධයන් වධ බන්ධනයට පත් කළහ.

1942 අගෝස්තු 12 දින රුසියාව ආක්‍රමණය කළ ජර්මන් හමුදාව කල්මිකියාවට අගනුවරට ද ඇතුල් වූහ. ජර්මන් හමුදාවට බැඳී සේවය කළොත් කල්මිකියාව කොමියුනිස්ට් පාලනයෙන් නිදහස් කර දෙන බව ජර්මන් හමුදාව කල්මික්වරුන්ට කීහ. කොමියුනිස්ට් පාලනයෙන් මිදෙන්නට ක්‍රමයක් සොයමින් සිටි කල්මික් බෞද්ධයෝ හමුදා ආක්‍රමණය ගැන සතුටු වූහ.

ජර්මන් හමුදාව

දුක්බර ජීවිතයක් ගෙවූ ඔවුන්ට එම සිදුවීම ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති කළේය. ආක්‍රමණය ආශීර්වාදයක් කරගන්නට සිතූ කල්මික්වරු ජර්මන් හමුදාවට බැඳී සෝවියට් පාලනයට එරෙහිව සටන් වැදුනහ. ඔවුහු දක්‍ෂ අශ්වාරෝහකයෝ වූහ. ජර්මන් හමුදාව පොරොන්දු වූ පරිදි කල්මික්වරුන්ට ඔවුන්ගේ දේශය නිදහස් කර දුන්හ. බියෙන් සැකයෙන් තොරව බෞද්ධ ආගමික සිරිත් සිදුකරන්නට කල්මික්වරුන්ට අවස්ථාව උදාවුණි. එහෙත් වැඩි කලක් යන්නට පෙර රතු හමුදාව නැවතත් කල්මිකියාව අත්පත් කරගෙන බෞද්ධයන්ගෙන් පළිගත්හ. ජර්මන් හමුදාවට සහයෝගය දැක් වූ නිසා 1943 දෙසැම්බර් 27 වන දින බෞද්ධයෝ රටින් පිටුවහල් කරනු ලැබූහ. අසරණ වූ දහස් ගණනක් කල්මික් බෞද්ධයන් ජර්මන් හමුදාව සමඟ පැන ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනා ආහාර පාන නොමැතිව අතරමඟ දී මිය ගියහ.

වධහිංසා නිසා නොයෙකුත් ප්‍රදේශවලට විසිර ගිය කල්මික් බෞද්ධයන්ට නිජබිමට පැමිණීමේ වාසනාව උදාවුණේ 1957 වසරේ දී ය. ඹ එකල සෝවියට් රුසියාවේ පාලකයා වූ නිකිතා කෘෂෙෆ් ඔවුන්ට ඒ සඳහා අවසර දුන්නේය. 1992 මාර්තු 31 වන දින කල්මිකියාව රුසියාවට අයත් ස්වාධීන ජනරජයක් බවට පත් විය. 1993 අප්‍රේල් මස කිර්සාන් නිකොලයාවිච් ඉලුම්ෂිනොව් කල්මිකියාවේ ප්‍රථම ජනාධිපති ලෙස පත් විය. 2010 වසර දක්වා ජනාධිපති තනතුර දැරූ ඔහු දැනුදු රාජ්‍ය ප්‍රධානියෙකි. ජනාධිපති කිර්සාන් සැදැහැවත් බෞද්ධයෙකි. ඔහුගේ ආධ්‍යාත්මික ගුරුවරයා දලයි ලාමා තුමා ය. කල්මිකියාවේ සම්ප්‍රදාය අනුව විශිෂ්ට පුරවැසියකුට පිරිනමන ඉහළ ම ගෞරවය වන්නේ සුදු නෙළුම් ශ්‍රේණියට ඇතුළත් කරගැනීම යි. කිර්සාන් ජනාධිපතිවරයා සුදු නෙළුම් ශ්‍රේණියට පත් වූ කෙනෙකි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ වෙසක් සිරි නරඹන්නට ඔහු 2011 මැයි මස ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජනාධිපති කිර්සාන් බුද්ධාගම කෙරෙහි නැඹුරු වූයේ ළමා වියේ දී ය. 2007 ජූලි 16 වන දින අල් ජසීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඔහු ඒ බව පවසා ඇත. “මා හත් හැවිරිදි වියේ සිටින විට මගේ අත්තම්මා නිවසේ දොර ජනෙල් වසාගෙන බුදු හාමුදුරුවන්ට වැඳුම් පිදුම් කරනවා මම දුටුවා. මම ඇයගෙන් ඇහුවා ඇයි මෙහෙම රහසින් බුදුන් වඳින්නේ කියලා. කේ. ජී. බී. එක (රුසියානු ඔත්තු සේවය) ඉන්නවා. සද්ද කරන්න එපා. නිදහසේ බුදුන් වඳින්න බැහැ. ඔබ ලොකු කෙනකු වුණා ම මිනිසුන්ට එළිමහනේ නිදහසේ වැඳුම් පිදුම් කරන්න පන්සල් ගොඩක් හදන්න යැ යි අත්තම්මා මට කීවා. මම ඉටු කරන්නේ ඇයගේ උපදේශය යි.

මම දැන් පන්සල් හතළිහක් හදලා තිබෙනවා” යැයි කිර්සාන් රූපවාහිනියෙන් ප්‍රකාශ කර ඇත. කිර්සාන් ජනාධිපති පදවිය ලබන විට කල්මිකියාවේ පන්සල් තිබුණේ නැත. එහෙත් මේ වන විට එහි පන්සල් හතළිහක් පමණ ඇත. ජෝසප් ස්ටාලින් බෞද්ධ විහාරස්ථාන වනසා දමා කල්මික් බෞද්ධයන් රටෙන් පිටුවහල් කළ දිනය සිහිපත් කරමින් 2005 දෙසැම්බර් 27 වන දා විවෘත කළ ස්වර්ණ විහාරය යුරෝපයේ විශාල ම පන්සල යි. කල්මික් ඔයිරාට් යනු ලොව අඩුම කිතුනු පිරිසක් සිටින ජාතිය වශයෙන් හැඳින්විය හැක. කල්මිකියාවේ ක්‍රිස්තියානි ජනගහණය සියයට දසම හතරකි. පුද්ගලයන් වශයෙන් 1700 කි. යුරෝපයේ තිබෙන එකම බෞද්ධ රාජ්‍යය අත්පත් කරගැනීමට අන්‍යාගමික බලවේග සැලසුම් දියත් කර ඇත. බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහා මූලධර්මවාදී සංවිධාන මඟින් ජනගහණයෙන් සියයට 38 කට මේ වන විට ආගමික පත්‍රිකා බෙදා ඇති බව වාර්තාවල දැක්වේ. එහෙත් උත්සාහය සාර්ථක වී නැත. බෞද්ධ උරුමය රැකගැනීමට කල්මික්වරු ඇපකැප වී සිටිති.


බොරු කීමේ විපාක

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහරවිට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි ලෝදිය බීම් ආදි මහ දුක් ලබති. ප්‍රේතව ඉපද අනේක වර්ෂ සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හී ද එක් ජාතියක දී කී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැනු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා