ඝාතනය වූ ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ සිද්ධිය වරදකරුවන් මරනු

ඝාතනය වූ ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ සිද්ධිය වරදකරුවන් මරනු

විරෝධතාකරුවෝ ඉල්ලති

පසුගිය දෙසැම්බරයේ දී බස්රියක ගමන් ගත් ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව සමුහ දූෂණයට ලක් කිරීම පිළිබඳ නඩුවේ අවසන් තීන්දුව අද දීමට නියමිතය. මෙම අපරාධය පිළිබඳ තම තීන්දුව ඊයේ දුන් විනිසුරු යෝගේෂ් කන්නා පැමිණ්ල්ලේ සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ඉදිරිපත් කරන තර්කවලට අද සවන් දෙනු ඇත. ඒ අනුව දෙනු ලබන දඬුවම කොතරම් බරපතළ වනු ඇද යන්න තීරණය කරනු ඇත.

දූෂණයට ලක්වී මියගිය 23 හැවිරිදි ශිෂ්‍යාවගේ දෙමාපියන් බලකර සිටින්නේ තම දියණියට මෙම ම්ලේච්ඡ අපරාධය සිදු කළ චූදිතයන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතු බවයි. සමස්ත සමාජයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද චූදිතයන්ට මරණීය දඬුවම දිය යුතු බවට විනිසුරුවරයාට ප්‍රබල බලපෑම් එල්ල වි තිබේ.

ඉන්දියාවේ මරණීය දණ්ඩනය නියමකර ඇත්තේ ඉතාම සීමිත අවස්ථා ගණනක දී බව වාර්තා වේ. මේ අතර අඟහරුවාදා ලබා දුන් තීන්දුවට එරෙහිව අහියාචනයක් ඉදිරිපත් කිරීමට චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ සූදානම් වෙති.

එක් චූදිතයෙක් බන්ධනාගාරයේ දී එල්ලී මිය ගිය අතර බාලවයස්කාර චූදිතයා තුන් අවුරුදු කාලයේ පරිවාස කඳවුරක ගත කිරීමේ තීන්දුවකට යටත් කරන ලදී. මේ අතර ඉන්දියාවේ දිනෙන් දින ඉහළ යන කාන්තාවන් දූෂණය කිරීමට සහ හිංසනයට එරෙහිව මෙවැනි ක්‍රියාවල යෙදෙන අයට පැහැදිළි සංඥාවක් ලබා දිය හැකි වන්නේ චූදිතයන් හතරදෙනාට මරණීය දණ්ඩණය දීමෙන් පමණක් බව ඉන්දීය ප්‍රධාන විපක්ෂ භාරතීය ජනතා පක්ෂයේ නායකයෝ අවධාරණය කරති.

නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු විශාල විරෝධතාකරුවන් පිරිසක් අධිකරණය ඉදිරියේ රැඳී සිටින බව වාර්තා වේ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා