ආන්ද්‍රා මහ ඇමැති රෙඩ්ඩිට කොංග්‍රස් පක්ෂය එපා වෙයි

ආන්ද්‍රා මහ ඇමැති රෙඩ්ඩිට කොංග්‍රස් පක්ෂය එපා වෙයි

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රාදේශ් ප්‍රාන්තය දෙකඩ කරමින් නව ප්‍රාන්තයක් බිහිකිරිමේ මතභේදාත්මක පනතට විරෝධය පලකරමින් ප්‍රාන්ත මහ ඇමති කිරාන් කුමාර් රෙඩ්ඩි පෙරේදා ඉල්ලා අස්විය.

ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස තෙලන්ගානා නමින් ප්‍රාන්තයක් බිහිකිරිමේ පනත සම්බන්ධයෙන් දැඩි වේදනාවට පත්ව සිටින බව ප්‍රකාශ කරන ඔහු, ප්‍රාන්ත මහ ඇමති ධුරයෙන් පමණක් නොව පාලක කොංග්‍රස් පක්ෂයෙන්ද ඉල්ලා අස්වන බව කියා තිබේ.

දශක ගණනාවක ක්‍රියාදාමයක ප්‍රථිඵලයක් ලෙස ඉන්දීය පහළ මන්ත්‍රී මණ්ඩලයට (ලෝක් සභාව) ඉදිරිපත්කිරී‍මෙන් පසු මන්ත්‍රීවරුන්ගේ මහත් කලබැගෑනි මැද සම්මත වූ‍ මේ පනත පෙරේදා ඉහළ මන්ත්‍රීමණ්ඩලය වෙත යොමු‍කෙරෙන බව පැවසී තිබිණ.

පහළ මන්ත්‍රීමණ්ඩලයේදී පනත සම්මත කිරිමේදී මන්ත්‍රීවරුන් හැසිරුනු ආකාරය ලජ්ජාවට කරුණක් බව පවසන රෙඩ්ඩි, එහිදි ඇතිවූ කලබැගෑනිය ජනතා‍වගෙන් වසං කරනු වස් පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ සජීවි විකාශනය අත්හිටුවිම ද දෝෂදර්ශනයට ලක්කර ඇත.

ලෝක් සභාවේදී පනත සම්මත වූ ආකාරය ඉන්දීය පාර්ලිමේන්තු ආයතනයන් කෙතරම් පහත් තත්ත්වයට ඇදවැටී ඇත්ද යන්න පිලිබිඹු කරන්නේයැයි රෙඩ්ඩි සිය අස්විම් ලිපියේ සඳහන් කර තිබේ.

මැයි මස අග පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්ද ගරා ගැන්මේ චේතනාවෙන් පාලක කොංග්‍රස් පක්ෂය මෙන්ම විපක්ෂ භාරතීය ජනතා පක්ෂයද එම පනතට සහයෝගය පල කළ බවට ඔහු චෝදනා කළේය.

දේශපාලන විචාරකයින්ද මේ අදහසට අනුකූලතාව දක්වා ඇති අතර සමහර විට පනත පාලක කොංග්‍රසයට බූමරංගයක් විය හැකි බව පවසා තිබේ.

රෙඩ්ඩි ඔහුගේම දේශපාලන පක්ෂයක් බිහිකිරිමෙන් දේශපාලන සටන් උත්සන්නවිය හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.

වසර 53 ක් තිස්සේ අනුප්‍රාප්තික රජයන් මගින් නොතකන ලද තෙලන්ගානා ව්‍යාපාරය මෙසේ නිමාවන නමුදු ආන්ද්‍රප්‍රාදේශ් අගනුවර වන හයිද්‍රබාදය

තෙලන්ගානාවේ අගනුවර ලෙස තවත් දසවසරක කාලයක් පවතිනු ඇති බව පැවසී තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා