සටන් විරාමයකට එන්න තලේබානුවන්ගෙන් කොන්දේසි

සටන් විරාමයකට එන්න තලේබානුවන්ගෙන් කොන්දේසි

පකිස්තාන රජය හා තලේබාන් කැරලිකරුවන් අතර අත්හිටුවී ඇති සාම සාකච්ඡා ක්‍රියාවලිය යළි පණ ගැන්වීම පිණිස සටන්විරාමයකට අනුගත වීමට තලේබානුවන් කැමැත්ත ප්‍රකාශකර ඇතත් ඒ සඳහා පකිස්තාන හමුදාව විසින් සිදුකරන ඝාතන හා අත්අඩංගුවට ගැනීම් අත්හල යුතු බව ඔවුන් ඉල්ලා තිබේ.

සාම කතාබහ ක්‍රියාවලිය ඇරඹීමෙන් පසු ඉකුත් සති අන්තයේ තලේබානුවන් ඔවුන් විසින් පැහැරගත් සෙබළුන් 23 දෙනකු ඝාතනය කළ බව ප්‍රකාශ කිරීම නිසා එම ක්‍රියාවලිය අත්හිටුවීමට රජයේ පාර්ශව කරුවන් කටයුතු කර තිබිණ.

මේ සාම ක්‍රියාවලිය ප්‍රකාශයට පත්කෙරුණේ ජනවාරි 29 දා වන අතර මේ වනවිට පුද්ගලයන් 70 ක් ඝාතනය කෙරී තිබේ. එහෙයින් තලේබානුවන් පවසා ඇත්තේ තවදුරටත් සිය සගයන්ගේ මළ සිරුරු ගෝනි වල බහා තිබෙනු දක්නට නොලැබෙන්නේනම් හා වැටලීම් සිදුකර ඔවුන් ඝාතනය කිරීම හා අත්අඩංගුවට ගැන්ම අත්හිටුවන්නේනම් රජය සමග සටන් විරාමයකට එළඹෙන බවය.

සාම කතාබහ ඇරඹිතැන් පටන් තලේබානුවන් 60 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී තිබෙනවා. කරච්චියේ හා වෙනත් ප්‍රදේශවල රහසිගත හමුදා මෙහෙයුම් පවතිනවා. පැහැරගත් සෙබළුන් මරා දැමුනේද රජයේ හමුදාවේ මේ ක්‍රියාවලිය නිසා.එහෙයින් මේ ක්‍රියාවලිය අත්හිටුවන්නේ නම් සටන් විරාමයකට එළඹෙන බවත් ඒ අනුව සාමකතාබහ යළි ඇරඹිය හැකි බවත් ඔවුන් කියා තිබේ.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා