පුංචි මාධවගේ සත් ක්‍රියාව සැමටම ආදර්ශයක්

පුංචි මාධවගේ සත් ක්‍රියාව සැමටම ආදර්ශයක්

විදුහල්පති විදාගම කස්සප හිමියන් , මව හා පැමිණි නිළධාරින් සමග මාධව කණිෂ්ක සිසුවා
ඡායාරූපය- හල්තොට සමුහ

රටටම ආදර්ශයක් ලබා දෙන ක්‍රියාවක් සිදු කළ බණ්ඩාරගම , වල්ගම ශ්‍රි සද්ධාතිස්ස මහා විද්‍යාලයේ 7 වසර බී පංතියේ ඉගෙනුම ලබන මාධව කනිෂ්ක පෙරේ‍රා සිසුවාට උපහාර පිදීමේ අවස්ථාවක් පසුගියදා එම විදුහල් භූමයේදි පැවැත්විනි .

පසුගියදා නිවසට ආසන්න බද්දෙගොඩ මාර්ගයේ වැටී තිබු රුපියල් තිස්පන් දහසක් සහිත මුදල් පසුම්බියක් එය හිමිකරුවන් සොයා ලබා දීම මේ සිසුවා සිදුකළ යහපත් ක්‍රියාවයි .

දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුමට සම්බන්ධව නඩත්තු අංශයේ සේවය කරන ඩබ් .ඒ .චමින්ද සහ එස් .වී .පී .නිශාන්ත යන නිලධාරින් දෙදෙනාගේ මාසික වැටුප එකම පසුම්බියක දමා තිබු අතර එය නැතිවී තිබුණි .

මව සමග නිවස ආසන්නයේ කඩයට යන විට මාධව මේ මුදල් පසුම්බිය පාරේ වැටී තිබෙනු දැක අහුලා මව අතට පත් කළේ එය අයිතිකරුවන් සොයා බාර දෙන ලෙසට ඉල්ලා සිටිමිනි .

මාධවගේ මව මල්ලිකා පද්මසිරි මහත්මිය මාධවගේ සීයා මාර්ගයෙන් හිමිකරුවන් හදුනාගෙන බද්දෙගොඩ පිහිටි අධිවේගි මාර්ගයේ ප්‍රධාන කාර්යාලයට බාර දිමට කටයුතු කළාය . මේ සත් ක්‍රියාවට කෘතගුණ දැක්වීම සඳහා අධිවේගි ප්‍රධාන කාර්යාලයේ සහ ගැලණිගම අන්තර් හුවමාරුවට අයත් නිලධාරීන් රුපියල් පහළොස් දහසකට වැඩි වටිනාකමක් ඇති අධ්‍යපන උපකරණ ඇදුම් , ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ උදෑසන රැස්වීමේදි මාධවට පිරිනැමීමට කටයුතු කළහ .

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා