මේ ගමනට කාගේත් සහයෝගය ඕනෑ!

මේ ගමනට කාගේත් සහයෝගය ඕනෑ!

ටේ යහ පාලනය ඇතිකිරීම සඳහාත්; දිළිඳුකම තුරන් කිරීම සඳහාත් අවශ්‍ය වන්නේ රජකු නොව; මිනිසකු යැයි අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී. එය ගැඹුරු අර්ථයක් සහිත උදාන වාක්‍යයක් යැයි අපට සිතේ. රජුන් තනනුයේ ජනතාව නො ව; ප්‍රභූන් ය. ප්‍රභූ සමාජයේ සිතුම් - පැතුම්, න්‍යායධර්ම මෙන් ම වැඩසටහන් ද ගොනු වී ඇත්තේ බමුණු කුලයේ හෙවත් ප්‍රභූ පන්තියේ ආධිපත්‍යය රැකගැනීම උදෙසා ය. රජුන් තැනීමේ න්‍යාය වඩාත් හොඳින් පැහැදිලි කර දී ඇත්තේ ඉතාලියේ දේශපාලන ශාස්ත්‍රඥයකු වූ මැකියාවෙලී ය. ඔහුගේ ඉගැන්වීම් නූතන ‍ලෝකයට ගැළපෙන්නේ නැත.

දැන් සිදුවිය යුත්තේ රටේ නායකයාගේ අභිමථාර්ථ සාධනය සඳහා දේශපාලන වශයෙන් සහයෝගය ලබාදීම ය. ජනාධිපතිවරයා ආරාධනා කර ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අවශ්‍ය සහ‍යෝගය ලබාදෙන ලෙස ය. එය ශ්‍රී ලංකාවේ දේශපාලනයට අලුත් අත්දැකීමක් වන්නා සේ ම නව චින්තනයක ආරම්භයක් ද වනු ඇත. ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රවලින් ආපස්සට ගියේ ද? සතුරු ආක්‍රමණවලට ගොදුරුවූයේ ද දේශපාලන බල අරගල නිසා ය.

ජාතිවාදය, ආගම්වාදය පමණක් නො ව; කුලවාදය පවා දේශපාලනය ඔස්සේ මුවහත් විය. ඇතැම්විට ඒ ඔස්සේ ම බලවත් ගැටුම් ද ඇති විය. රටේ ඇති වූ සිංහල තරුණ නැඟිටීම් දෙකකට මෙන් ම උතුරේ දෙමළ තරුණ නැඟිටීමට ද කුලවාදය බලපා තිබිණි. ජාතිවාදය හා ආගම්වාදය ද එහි පූර්ව පදනමක් ලෙස පැවැතිණි. 1971 කැරැල්ල, 1988 – 1991 කැරැල්ල, උතුරේ තිස් අවුරුදු ත්‍රස්තවාදය; මේ රටේ දිළිඳුකම වර්ධනය වීමට සේ ම ‍රටේ දේශපාලනය දූෂිතවීමටත් බලපෑවේ ය. දැන් යුද්ධය අවසන් ය. ත්‍රස්තවාදයත් අවසන් ය. ඒ හැරෙන්නට නව දේශපාලන සංස්කෘතියක ආරම්භය ද සිදු වී තිබේ.

රට ඉදිරියෙහි ඇත්තේ යහපත් බලාපොරොත්තු හා යහපත් ඉලක්ක යැයි සිතිය හැකි ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්මට හා වැඩසටහනට අනුව මූලික ඉලක්ක තුනක් හඳුනාගත හැකි ය. පළමුවන්න යහ පාලනය ඇති කිරීම ය. සාධාරණ හා යුක්තිසහගත පාලනයක් මෙන් ම දේශපාලනයක් ද රටකට අවශ්‍ය වේ. බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් යහ පාලනය බිඳවැටෙයි. දෙවන්න ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීම සඳහා සාර්ථක හා ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ය. තෙවන්න ශීලාචාර සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය.

මේ කරුණු තුන ම අපේ සමාජයට අතිශයින් ම වැදගත් ය. බලය පවත්වාගැනීම සම්බන්ධ දේශපාලන ක්‍රියාවලියේ දී ඇතැම් දේශපාලකයන් අතින් වැරැදි සිදු වී තිබේ. ඒ සම්බන්ධයෙන් වූ සිදුවීම් නැවත - නැවත සිහිපත් කිරීම සදාචාරාත්මක නො වන බැවින් අපි එයින් වැළකී සිටිමු. එහෙත් මේ වැරැදි ජනතාවගේ අවධානයට ලක් වී තිබිණි. දිළිඳුකම සම්බන්ධ ගැටලුවේ දී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුව; ඒවායෙහි ප්‍රතිලාභ බිම් මට්ටමේ ජනතාව වෙත ගලා ගියේ නැත. එම වේදනාකාරී අත්දැකීම් පොදු සමාජය තුළ පැවැතිණි. ශීලාචාර සමාජය පිළිබඳ ගැටලුවේ දී බලවත් පුද්ගලයා ඉදිරියේ බෙලහීන පුද්ගලයාට තැනක් නො තිබිණි. මේ සියල්ල වෙනස් කිරීම අලුත් දේශපාලන සංස්කෘතියට ඇතුළත් ය.

මේ දේශපාලන සංස්කෘතිය රටේ බහුතර ජනතාවගේ පිළිගැනීමට හා විශ්වාසයට ලක් වී ඇති බැවින් දේශපාලකයන්ගේ ඉලක්කය විය යුත්තේ ඊට බාධා නොකර සිටීම ය. වඩාත් සරල භාෂාවකින් කිවහොත් නව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීම නො කළ යුතු ය. දේශපාලන භේද හා වෙනත් ගැටීම් මෙතනට අදාළ කරගැනීම නැවැත්විය යුතු ය. මීට සම්බන්ධ ප්‍රධාන සිදුවීම් දෙකක් සඳහන් කළ හැකි ය. පළමුවන්න උතුරේ හමුදා කඳවුරුවලට දෙමළ ජනතාව පහර දුන්නේ යැයි කියන බොරු ප්‍රචාරය යි. දෙවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ දී ඇතිවූ සිද්ධිය යි. මේ දෙක ම වැරැදි තෝරාගැනීම් ලෙස විවේචනයට ලක් වේ.

උතුරේ හමුදා කඳවුරුවලට ගල්මුල් ප්‍රහාරයක් ‍එල්ල කළ බවට ද, මැතිවරණ ජයග්‍රහණයෙන් පසු උතුරේ දෙමළ ජනතාව හූ කියමින් හා අශෝභන ලෙස හැසිරෙමින් හමුදා නිලධාරීනට අපහාස කරන ලද්දේ යැයි මේ ප්‍රචාරය ගෙන ගොස් තිබිණි. මෙහි අරමුණ නැවත ජාතිවාදය ඇවිස්සීම යැයි සිතිය හැකි ය. හැබෑවට ම එවැන්නක් සිදු වී නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකයා මෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ද තහවුරු කරති. මෙබඳු අසත්‍ය ප්‍රචාරවලට සම්බන්ධ පුද්ගලයකු නෙළුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ ප්‍රචාර පිටුපස දේශපාලන ක්‍රියාවලියක් තිබෙන්නට පුළුවන. නැවැත්විය යුත්තේ එය යි.

1983 කළුජූලිය රට පුරා පැතිර ගියේ බොරු ප්‍රචාරත් සමඟ ය. උතුරේ නොවූ සිදුවීම් නිරූපණය කොට දැක්වීමෙන් දකුණේ සිංහල ජාතිවාදය ඇවිස්සිණි. එහි ප්‍රතිඵලය ඉතා භයානක විය. අසූතුන කළුජූලියෙන් ‍රටට ඇති වූ කළු ලපය තව ම මැකී නැත. ඒ ඔස්සේ ඇවිළී ගිය ජාතිවාදයේ ගිනිදලු ද තව ම මුළුමනින් නිවී නැත‍. ඒවා වරින්-වර මතුවීමට දඟලයි. මෙබඳු සිදුවීම්වල ප්‍රතිවිපාක ගැන දේශපාලකයන් ගැඹුරින් කල්පනා කළ යුතු ය. ජාතිවාදයෙන් දිනාගත හැකි යහපත් දෙයක් නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ වූ සිද්ධිය ද අනුමත කළ නො හැකි ය. දැන් අවශ්‍ය ව ඇත්තේ පක්ෂය දෙකඩ කරමින් නව නායකයාගේ ගමන අඩාල කිරීම නො වේ. එක අතෙකින් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ නැත. අනෙක් අතින් එය රටේ ඉදිරි ගමනට හොඳ නැත. නව දේශපාලන සංස්කෘතියක් උදා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට හඳුන්වා දුන් සැලැසුම ක්‍රියාත්මක කිරීමට අවකාශය ඇති කිරීම සදාචාරාත්මක දේශපාලකයන්ගේ අභිලාසය විය යුතු යැයි අපට සිතේ. ඊට ජාතිවාදය අවශ්‍ය නැත. ආගම්වාදය හා කුලවාදය අවශ්‍ය නැත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා