ශුද්ධෝත්තම පාප් වහන්සේ අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට

ශුද්ධෝත්තම පාප් වහන්සේ අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට

වතිකාන තානාපති - කාදිනල් හිමි ශ්‍රී ලංකා ජනපති එතුමන් පිළිගනිති

අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රමුඛ සසුන් පිය නියෝජිත පිරිස රැගත් විශේෂ ගුවන් යානය අද (13දා) පෙරවරු 8.45ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සම්ප්‍රාප්ත වෙයි. ශුද්ධෝත්තම පාප් වහන්සේ සමඟ විදෙස් මාධ්‍යවේදීන් 82ක්ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර සසුන් පිය නිල නියෝජිත පිරිසක්ද ඒ අතර වෙයි.

පෙරවරු 8.55ට ගුවන් යානයේ ඉදිරිපස දොරටුව විවෘත වූ වහාම ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති හිමිපාණන් ගුවන් යානයට ඇතුළු වි අති උතුම් ප්‍රැන්සිස් සුදුතුම් පියාණන්ට සුබ පතන අතර පෙරවරු 9.00ට ගුවන් යානයේ පඩිපෙළ බසිමින් සිරිලක් දෙරණට පා තබනු ලබයි. මෙම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය විසින් මල් දමක් පැළඳවමින් සහ මල් පොකුරක් පිළිගන්වමින් උන්වහන්සේව පිළිගනු ලබයි.

එයින් අනතුරුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සුදුතුම් පියාණන්ව පිළිගනු ලබයි. මෙම අවස්ථාවෙන් පසුව ජනාධිපතිවරයා විසින් සිය ඇමති මණ්ඩලය හඳුන්වා දෙන අතර පෙරවරු 9.05ට අතිඋතුම් පාප් වහන්සේට ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිළිගන්වනු ලබයි. ශුද්ධාසනයේ ජාතික ගීය සමඟින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය කරන අතර යුද හමුදාව විසින් ආචාර වෙඩි මු 21ක් උන්වහන්සේ වෙනුවෙන් පිරිනමනු ඇත.

හමුදා උත්තමාචාරය පිළිගන්නා ලෙස සසුන් පියාගෙන් ඉල්ලා සිටින අතර මෙම අවස්ථාවේදී ද ශද්ධාසනයේ සහ ශ්‍රී ලංකා ජාතික ගී වාදනය කිරීම සිදු වෙයි. එයින් අනතුරුව ශුද්ධෝත්තම පියාණන්ට ජනාධිපතිවරයා වෙත කැඳවා ගෙන යනු ලබන අතර 9.20ට පිළිගැනීමේ ගීතය ගායනා කරනු ලබයි.

පෙරවරු 9.25ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලබන අතර පෙරවරු 9.30ට අතිඋතුම් ප්‍රැන්සිස් සුදුතුම් පියාණන් විසින් පිළිතුරු කතාව කරනු ලැබේ. එයින් අනතුරුව පෙරවරු 9.35ට අතිඋතුම් ප්‍රැන්සිස් සුදුතුම් පියාණන් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිවිසීමේ පර්යන්තය කරා ගමන් කරන අතර මෙම අවස්ථාවේදී අගරදගුරු හිමිපාණන් විසින් ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු මණ්ඩලය සසුන් පියාට හඳුන්වා දෙනු ලබයි.

එයින් අනතුරුව ජනාධිපතිවරයා රාජ්‍ය අමුත්තන් සසුන් පියාණන්ට හඳුන්වාදීම සිදු කරනු ලබන අතර පෙරවරු 9.40ට ශුද්ධෝත්තම පියතුමා රන්පොතේ අත්සන් තැබීම සිදු කරනු ලබයි. පසුව ශුද්ධෝත්තම පියතුමා ජනාධිපතිවරයා සමඟ අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පිවිසෙන අතර පෙරවරු 9.45 ශුද්ධෝත්තම පියතුමා විසින් ජනාධිපතිවරයාට සමුදීම සිදු කරනු ලබයි. අනතුරුව සසුන් පියා විශේෂ රථයකට ගොඩවන අතර එම අවස්ථාවට අගරදගුරු හිමිපාණන්ද එක්වීමට නියමිතය.

පසුව සසුන් පියාණන් රැගත් රථ පෙළපාලිය බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් නික්මෙන අතර මීගමුව කොළඹ මාර්ගය ඔඔස්සේ කොළඹ බලා පිටත්වෙයි.එයින් අනතුරුව පෙරවරු 11.00ට අතිඋතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා අපෝස්තලික තානාපති නිල නිවස කරා සම්ප්‍රාප්ත වෙයි.

පස්වරු 1.15ට සුදතුම් පියතුමාණන් ප්‍රමුඛ නියෝජිත පිරිස අගරදගුරු නිවසට සම්ප්‍රාප්ත වන අතර උන්වහන්සේව පිළිගනු ලබන්නේ කාදිනල් හිමිපාණන් සහයක රදගුර ුහිමිපාණන් සහ අගරදගුරු මැඳුරේ පියතුමාණන් විසින් වන අතර දෙව්සත් හලේ සිසන් 160 දෙනෙක් මීටර් 30ක් දක්වා ප්‍රධාන ගේට්ටුවේ සිට සිරිහද දෙව්මැඳුරේ දොරටුව දක්වා දෙපස පේළි දෙකකට පෙළ ගැසී සසුන් පියාණන්ට ආචාරය සිදු කිරීමට නියමිතය.

විසි‍ දෙනෙකුගෙන් සමන්විත තූර්ය වාදක කණ්ඩායමක් ගමන් මඟ රැඳෙමින් වාදන ඉදිරිපත් කරන අතර පස්වරු 1.20ට උන්වහන්සේට සිරිහද දෙව්මැඳුර කරා රැගෙන යෑම සිදු වෙයි. එහිදී ගායනා කණ්ඩායමක් උන්වහන්සේ වෙනුවෙන් ගීතිකාවක් අරඹන අතර සුළු මොහොතක් නිසලව යාච්ඤා කරනු ඇත. පසුව අගරදගුරු මැඳුරේ විශේෂ අමුත්තන්ගේ ආලින්දයට පිවිසෙන උන්වහන්සේ කතෝලික රාජගුරු මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට නියමිතය. මෙහිදී උන්වහන්සේ රන්පොතේ සමරු සටහනක් තබන අතර පස්වරු 1.45ට රතු පලස මතින් දිවා භෝජන ශාලාවට කැඳවා ගෙන යනු ලබයි. උන්වහන්සේ අනතුරුව පස්වරු 2.15ට අගරදගුරු මැඳුරෙන් නික්ම යෑමට නියමිතය.

එදිනම පස්වරු 4.40ට ශුද්ධාසනයේ ලේකම් හිමිපාණන් ප්‍රමුඛ ශුද්ධාසන නියෝජිත පිරිස ජනාධිපති මන්දිරය කරා සම්ප්‍රාප්ත වන අතර පසුව 4.45ට සුදුතුම් පියාණන් ‍රැගත් මෝටර් රථ පෙළ ජනාධිපති මන්දිරය වෙත ළඟා වීමට නියමිතය. ස්වරු 5.00ට ශුද්ධෝත්තම පියතුමා ජනාධිපති මැඳුරේ ප්‍රධාන දොරටුව අසලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි් පිළිගනු ලබන අතර පස්වරු 5.05ට ශුද්ධෝත්තම පියතුමා රාජ්‍ය අමුත්තන්ගේ කාමරයට පිවිසීම සඳහා පියගැට පෙළට ගොඩ වේ. පස්වරු 5.10ට ජනාධිපතිවරයා සහ ශුද්ධෝත්තම පියතුමා අතර පෞද්ගලික සාකච්ඡා ආරම්භ වෙයි.

පස්වරු 5.30 ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයින් උන්වහන්සේට හඳුන්වා දෙන අතර ශුද්ධෝත්තම පියතුමා සහ ජනාධිපතිවරයා අතර තෑගි භෝග හුවමාරු කර ගැනීම සිදු වෙයි. එයින් අනතුරුව සුදුතුම් ලංකා ගමන වෙනුවෙන් මුල් දින කවරය සහ මුද්දර ද විශේෂ සමරු කාසිය ද ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට පිළිගන්වනු ලබයි. රජයේ අගමැති ඇතුළු මැති ඇමැතිවරුන් තානාපති නිලධාරීන් ශුද්ධෝතත්ම පියතුමන්ට හඳුන්වා දෙනු ලබන අතර පස්වරු 6.00 නික්ම යෑමට නියමිතය.

පසුව පස්වරු 6.15ට ශුද්ධෝත්තම පියතුමාණන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත පිවිසෙන අතර තූර්ය වාදන නැටුම් හරසර මඟුල් බෙර වාදන මැද උන්වහන්සේ පිළිගැනීමට නියමිතය. පස්වරු 6.30ට පිරිත් සජ්ඣායනයක්ද පස්වරු 6.34 හින්දු ආගමික චාරිත්‍ර ද පස්වරු 6.38 ඉස්ලාම් ආගමික චාරිත්‍ර ද කිතුණු ආගමික චාරිත්‍ර ලංකා සභාවේ කොළඹ රදගුර ුඅතිඋතුම් ඕලෝරාජ් කනකසබේ හිමිපාණන් සිදු කරනු ලබයි. පස්වරු 6.45ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාවක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව පවත්වනු ලබන්නේ ශුද්ධෝත්තම පියතුමාණන්ගේ දෙසුමය. පස්වරු 7.15ට සුදුතුම් පියතුමාණන් සර්ව ආගමික නායකයින් ගෙන් සමුගෙන නික්ම යෑමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා