ද.කොරියා-අමෙරිකා ඒකාබද්ධ හමුදා මෙහෙයුම් නතර කරන්නේනම් න්‍යෂ්ටික පරීක්ෂණ නවත්වනවා

ද.කොරියා-අමෙරිකා ඒකාබද්ධ හමුදා මෙහෙයුම් නතර කරන්නේනම් න්‍යෂ්ටික පරීක්ෂණ නවත්වනවා

උ. කොරියාවෙන් අමෙරිකාවට ප්‍රතිඥාවක්

දකුණු කොරියාව සමඟ වාර්ෂිකව සිදු කරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම නතර කරන්නේ නම් න්‍යෂ්ටික පරීක්ෂණ නතර කරන බවට උතුරු කොරියාව අමෙරිකාවට ප්‍රතිඥාවක් දී තිබේ.

නම් සඳහන් නොකළ අයෙක් මාර්ගයෙන් පසුගිය සිකුරාදා මේ පණිවුඩය අමෙරිකාවට ලබා දුන් බවත් එමඟින් අමෙරිකාවට වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළ බවත් නිල කොරියන් මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.

උතුරු සහ දකුණු කොරියාව අතර ඇති විරසකය තුනී කර ගෙන සංහිඳියාවක් ගොඩනඟා ගැනීමේ අරමුණ ඇතිව කතිකාවක් ආරම්භ කිරීම සඳහා මේ පියවර ගත් බව උතුරු කොරියාව පවසයි. ආරම්භක පියවරක් වශයෙන් තමා දකුණු කොරියන් ජනාධිපති පාක් ගියුන්-ද්හයි හමුවීමට සූදානම් බව උතුරු කොරියන් ජනාධිපති කිම් ජොං අන් සිය නව අවුරුදු පණිවුඩය තුළින් ප්‍රකාශකර ඇත.

කොරියන් අර්ධද්විපය ජපානයෙන් නිදහස ලබා වසර 70 ක් සම්පූර්ණ කිරීම සමරණ අවස්ථාවේදී මේ දැවැන්ත ඉදිරි පියවර ගත යුතු බවට යෝජනා කළ බව උතුරු කොරියන් ජනාධිපති පවසයි.

උතුරු කොරියන් ජනාධිපතිවරයා විසින් අමෙරිකාවට ඉදිරිපත් කර ඇති මේ යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කළ බව අමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ජේන් සාකි පවසයි. සී අයි ඒ කුමන්ත්‍රණයක් මඟින් අමෙරිකාව තමන් ඝාතනය කිරිමට උත්සාහ කරන බවට කිම් ජොං අන් පසුගිය දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා