දූෂණ වංචා සිදුකළ‍ෙහාත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

දූෂණ වංචා සිදුකළ‍ෙහාත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

නව ඇමැති මණ්ඩලයට ජනපති කියයි

අභිනවයෙන් පත් වු ඇමැතිවරු දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදුකළහොත් තරාතිරම නොබලා එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී ඊයේ (12) පැවැසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්විණි.

ඇමැතිවරු රටට ආදර්ශයක් විය යුතු බවත් එමගින් පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතු බවත් එහිදී ජනාධිපතිවරයා කීය. ඉදිරි දින 100 ඉක්මවීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවත් ඉන්පසුව පිහිටුවන ආණ්ඩුවෙන් ස්ථිර ඇමැති මණ්ඩලයක් පත්කරන බවත් කී ජනාධිපතිවරයා, දින 100කින් පසු මැතිවරණයක් එළඹෙන බව ඇමැතිවරු සිහියේ තබා ගත යුතු බවත් ජනාධිපතිවරයා කීය.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ඔවුන් අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.ප්‍රතිවාදී දේශපාලන පාක්ෂිකයින් එකතු කර ගැනීම ඉතා වැදගත් බව කී ජනාධිපතිවරයා අපට ඡන්දය භාවිතා නොකළ ජනතාව මිතුරු කරගත යුතු බවත් කීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

අපේ රටේ ප්‍රධාන සේවකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය පසුගියදා පැවතුණා. මගේ ආදරණීය ජනතාව අප වෙත ලබා දුන් අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවුණා. ජනවාරි 8දාට පෙර ස්ථිර වශයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව මම ප්‍රකාශ කළා. එයට පොදු ජනතාවගේ ආශිර්වාදය හිමිවුණා. කැබිනට්, රාජ්‍ය හා ‍නියෝජ්‍ය ඇමැතිවරු පත් කළ මෙම අවස්ථාවේදී මූලික කාරණය වන්නේ ඉදිරි දින 100ක වැඩපිළිවෙළයි. දින 100ක් ඉක්මවීමෙන් පවත්වන මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවෙන් ස්ථිර අමාත්‍ය මණ්ඩලයක් පත් කර මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කටයුතු සිදුකෙරෙනවා.

දින 100න් පසු මැතිවරණයක් එන බව අද පත්වු ඇමැතිවරු සිතෙහි තබාගෙන කටයුතු කළ යුතුයි. ප්‍රතිවාදී දේශපාලන පාක්ෂිකයන් එකතු කර ගැනීම ඉතා අවශ්‍යයි. අපට උදව් කර මැතිවරණයේ දී අපට ඡන්දය භාවිත නොකළ ජනතාව මිතුරු කර ගැනීම ඉතා වැදගත්.

ඇතැම් ස්ථානවල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් සිදුවුණා. ඒ පිළිබඳ කනගාටු වෙනවා. කිසිදු බේදයකින් තොරව මැතිවරණයට පෙර සහ පසුව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු සැමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් අධිකරණයට ඉදිරිපත් කරනවා. අපට පැවරී ඇති වගකීම තේරුම් ගත යුතුයි. රටේ ජනතාවගේ විශ්වාසය පළුදු කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නේ නම් විරුද්ධ පාක්ෂිකයන් දිනා ගැනීමට හැකියාවක් නැහැ. අපි පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක්. සර්ව පාක්ෂික ආණ්ඩුවක්.

ඒ සඳහා රටේ පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුයි. ඒ සඳහා ඇමැතිවරු තම ආදර්ශය රටට දිය යුතුයි. පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයින් තම ප්‍රතිරූපය තමන් විසින්ම කෙලෙසා ගත්තා, පටු පරමාර්ථ තුළ කටයුතු කිරීමෙන් එවැනි දේ සිදු වුණ එම දේශපාලනඥයන් දෙස ජනතාව පිළිකුළෙන් බලන්න පටන් ගත්තා.අමාත්‍ය මණ්ඩල පත් කිරීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අප පෙරමු‍ෙණ් සෙසු නායකයන්ගේත් එකඟත්වය මත අමාත්‍ය මණ්ඩලය 30කට නොවැඩි විය යුතු යන ස්ථාවරයේ සිටියා.

සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් ලෙස අමාත්‍යාංශ විෂයක් භාර ගැනීමේදී තමාට ලැබී ඇති විෂය පථය ප්‍රමාණවත්‍ නොවේ යැයි සිතීමට ඉඩ තිබෙනවා. මගේ දීර්ඝ කාලීන අත්දැකීම අනුව මා එය හොඳින් තේරුම් ගෙන තිබෙනවා. අද පත්වන ඇමැති මණ්ඩලය පත්වන්නේ දින 100ක වැඩපිළිවෙළක් සඳහායි.බෞද්ධයෙකු ලෙස තනතුරු අත්හැරීමට පුළුවන් විය යුතුයි. සෞඛ්‍ය ඇමැති ශ්‍රී ලනිපක්ෂයේ මහ ලේකම් තනතුර අත්හැරියේ නැත්නම් මම තවමත් එතැනයි. ඒවා අත්හල නිසා මට ඊට වඩා වගකීමක් මහජනතාව ලබා දුන්නා.

බලය රැක ගැනීමේ චේතනාවෙන් සිටිය හොත් බලයෙන් පිරිහෙනවා. නොමැරෙන මිනිසුන් ලෙස වැඩ කළහොත් පොදු මෙන්ම පෞද්ගලික ප්‍රශ්න රැසක් ඇති වෙනවා. ජනතාව තැබූ විශ්වාසය ගෞරවාන්විතව ආරක්ෂා කර ගත යුතුයි. මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ආදර්ශ චරිත බවට පත් විය යුතුයි. නව රජයට ජනතාව ලබා දුන් බලයට එරෙහි වන්නන්ට පක්ෂ නායකයන් දැඩි ස්ථාවරයක ඉන්නවා. වැරදි දූෂණ සහ අක්‍රමිකතා සිදු කළහොත් ඇමැති රාජ්‍ය ඇමැති නියෝජ්‍ය ඇමැති බව නොසලකා කටයුතු කරනවා. ඒ බව අමතක කරන්න එපා. පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කැප වෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අමාත්‍යාංශ ලේකම්වරු, ඇමැතිවරු විශාල පිරිසක් එක්වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා