ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙනවා

දින සියයේ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යෑමට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙනවා

 - නිමල් සිරිපාල ද සිල්වා

ජනතාව අනුමත කළ දින සියයේ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ජනතාවට යම් ප්‍රතිලාභයක් හිමිවන්නේ නම් ඊට සහයෝගය ලබාදීමට සිය පක්ෂය නොපැකිළිව ඉදිරිපත් වන බව හෙතෙම කීවේය. එසේ නොමැතිව බහුතර ජනතාවක් අනුමත කළ වැඩපිළිවෙළක් කඩාකප්පල් කර බලය ලබාගැනීමේ කිසිඳු වුවමනාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදි සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

මැතිවරණය අවසන් වීමත් සමඟ ඇතැම් පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින් සිටින බව පැවැසු ඒ මහතා ඒ පිළිබඳ සිය අවධානය යොමුකර ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සිය පක්ෂයේ නියෝජිතයන් කණ්ඩායමක් ලෙස එක්ව ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා ඇති වී ඇති තත්ත්වය පිළිබඳ දැනුම් දීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහින්ද සමරසිංහ මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා