සබරගමුව එජනිස මන්ත්‍රී සහ කහවත්ත ප්‍රා: සභා මන්ත්‍රී උසාවියට බාරවෙති

කහවත්තේදී එජාප ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම

සබරගමුව එජනිස මන්ත්‍රී සහ කහවත්ත ප්‍රා: සභා මන්ත්‍රී උසාවියට බාරවෙති

කහවත්ත නගරයේදී එජාප ආධාරකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකෙරෙන සබරගමුව පළාත් සභාවේ එජනිස මන්ත්‍රීවරයා සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමෙන් පසු ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් ද සිල්වා මහතා නියෝග කළේය.

නීතිඥයින් දෙදෙනකු මගින් මෙම සැකකරුවන් ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් වූහ. පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන් නීතිඥවරුන් දෙදෙනකු මගින් අධිකරණයට ඉදිරිපත් වූහ. සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණත් පසුගිය දිනවල පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොවූ බව නීතිඥයෝ අධිකරණයට පැවසූහ.

ඉකුත් 5 අලුයම කහවත්ත නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් 57 හැවිරිදි ශාන්ත දොඩංගොඩ මහතා ඉකුත් 7 රත්නපුර මහ රෝහලේදී මියගියේ ය. තුවාල ලැබූ තවත් දෙදෙනකු ද රෝහල් ගත කර සිටිති.

හිටපු විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ද මෙම සිද්ධිය සම්බන්ධව සොයමින් සිටියදී අලුත්ගමදී අත්අඩංගුවට ගත් අතර ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පළාත් සභා මන්ත්‍රීවරයා හා ප්‍රාදේශීය සභා සභාපතිවරයාව ආරක්ෂා සහිතව බන්ධනාගාරයට රැගෙන යන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ආරක්ෂාව ලබාදෙන ලෙසයි. ඒ අනුව බන්ධනාගාර බස් රථය ගමන්කරද්දී පොලිස් කැබ් රථයක නිලධාරීන් සහිතව ආරක්ෂාවත් කහවත්ත පොලිසිය විසින් ලබා දුන්නේ ය.

නීතිඥ සමිත ලියනගේ මහතා සහ නීතිඥ සීතා රංජනී මහත්මිය සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ ය. කහවත්ත පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීය. පළාත් සභා මන්ත්‍රීවරයාගේ සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ හිතවතුන් පිරිසක් ද අධිකරණය ඉදිරිපිට රැඳී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා