අපේ රටට ගැළපෙන යහපාලනය සකසා ගතයුතුයි

අපේ රටට ගැළපෙන යහපාලනය සකසා ගතයුතුයි

පාඨලී චම්පික රණවක
ජාතික හෙළ උරුමයේ මහ ලේකම්

මෛත්‍රී පාලනයක් යටතේ දූෂණයට,වංචාවට එරෙහිව කටයුතු කරන ආකාරයත් රට යහ පාලනයක් කරා රැගෙන යන ආකාරය හා තවත් කාලීන කරුණු කිහිපයක් පිළිබඳව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා සමග දිනමිණ කළ සාකඡ්ජාවකි.

* සියලු බාධක අබිබවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ජයග්‍රහණය ගැන ඔබ මොනවද හිතන්නෙ...

මේ ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. අප රටේ සාමාන්‍ය මෙන්ම යුග පෙරළි ඇති කළ මැතිවරණ පවත්වා තිබෙනවා. 1956 වසරේ එවැනි මහ යුග පෙරැළියක් සිදුවුණා. 1977 වසරෙත් කාලාන්තරයක් තිස්සේ පැවැති පාලනය මහ පෙරළියකින් වෙනස් වුණා. 1994 වසරෙත් සිදුවුණේ ඒ ක්‍රියාදාමයමයි. නමුත් ඒ හැම පෙරළියකදීම සිදුවුණේ බලයේ සිටි පක්ෂය පරදා විපක්ෂය බලයට පත්වීමයි. මේ අවස්ථාවේ සියලු පක්ෂ සමගි සංධානයන් එක්ව තමයි මේ පෙරළිය සිදුවුණේ.

මේ පෙරළියත් සමඟ රටේ තිබූ බෙදීම් සියල්ල නිම කළ පාලනයක් ආවේ. එය ලොකු දෙයක්. ඒ සඳහා සියලු දෙනා කැපවුණා. රට ආර්ථික හා සමාජීය වශයෙන් එක්තරා තැනකට අද පත්ව තිබෙනවා. පවුල්වාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, මැරවර අශීලාචාර දේශපාලනය ජනතාව පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදීත් රටේ සිටින දූෂිත දේශපාලනඥයන් පලවා හැර පිරිසිදු දේශපාලනඥයන් පත් කර ගන්නා ලෙසයි. . ඒ අයිතිය තිබෙන්නේ මහජනතාවටයි.

* යහපාලනය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

එය රටකින් රටකට වෙනස් වෙනවා. ඒ නිසා එය අප රටට සුදුසු ක්‍රමවේදයකට සකස්කර ගන්නවා. මේ සඳහා අපට විදේශීය රටවලින් ආදර්ශ ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හොංකොං සහ සිංගප්පූරුව යන රාජ්‍යයන්වල දූෂණය පිටුදැකීමේ නීතිරීති දැඩිව බලපවත්වනවා. අපට අවශ්‍ය ශක්තිමත් පක්ෂග්‍රාහී නොවන අධිකරණයක් සඳහා ඉන්දියාව වැනි රාජ්‍යයකින් ආදර්ශ ගත හැකියි. ඊට අමතරව වෙනත් විදේශ රටවලින් ද අපට යම් යම් ආදර්ශ ලබාගත හැකියි. කෙසේ වෙතත් යහපාලනය සඳහා අපට ගැළපෙන ක්‍රමවේදයක් අප විසින්ම නිර්මාණය කරගත යුතුයි.

* පසුගිය ජනාධිපතිවරණය සඳහා බලයේ සිටි පිරිස් විශාල ලෙස රාජ්‍ය බලය හා මුදල් ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් බවට ඔබ චෝදනා කළා....

ඔවුන් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඉතාම නිර්ලජ්ජිත විදිහට රාජ්‍ය දේපළ පරිහරණය කළා. බිලියන 150ක සහනාධාර පොදියක් දුන්නා. ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය හා වරාය පාවිච්චි කරල තවත් අතිරේක බිලියන 100ක් මුදල් මේ මැතිවරණයට වියදම් කළා. පසුගිය රාජපක්ෂ පාලනය යටතේ මුදල් උපයාගත් ජාවාරම්කරුවො බිලියන තිහ හතළිහක මුදල් වියදම් කළා.ලංකා ඉතිහාසය තුළ ප්‍රචාරය සඳහා වැඩිම මුදලක් වැය කර පැවැත්වූ මැතිවරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්.

ජනමාධ්‍ය භාවිතය ඉතාමත් අශීලාචාර ලෙස පරිහරණය කළා. ඉතාමත් නින්දිත කැත මඩ ප්‍රචාර ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා. ජාවාරම්කරුවො මිලට අරන් සිටි සෑම මාධ්‍යකින්මත් එසේ කටයුතු කළා. ස්වාධීනව කටයුතු කළේ මාධ්‍ය නාළිකා කිහිපයක් පමණයි. අනෙකුත් මාධ්‍ය නීති සියල්ල කැඩුවා. යුද හමුදාව ව්‍යාපාරික ආශාවන් ඇතිවන ආකාරයට හා ශ්‍රමය සඳහා යොදා ගත්තා. හමුදා බුද්ධි අංශ දේශපාලනීකරණය කළා. අවසානයේ ඡන්ද ප්‍රතිඵල පවා වෙනස් කිරීමට මැදිහත්වීමක් තිබුණා. නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වුණේ මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා නිර්භීතව මැදිහත්වූ නිසයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා ඔවුන්ට ප්‍රණාමය පුද කළ යුතුයි.

* ද්‍රවිඩ දේශපාලන පක්ෂ තමන්ගේ මවුබිම ගැන උනන්දුවක් දක්වනවාද නැතිනම් ඔවුන් උතුරේ වෙනම රාජ්‍යයක් බිහි කිරීමට බලාපො‍රොත්තු වෙනවාද?

කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරන කණ්ඩායම් ඡන්දය වර්ජනය කිරීමට ක්‍රියා කළා. එසේ වුවත් ද්‍රවිඩ ජනතාව ඉදිරියට පැමිණ තම ඡන්දය පාවිච්චි කළා. මින් හැ‍ඟෙන්නෙ ඔවුන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ බලාපොරොත්තුවලට අභියෝගයක් කර ඇති බවයි. අපි නියත වශයෙන්ම ඊළාම්වාදය පරාජය කරනවා. එහෙත් උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ජනකොටස්වලට මෙරට අනිත් ප්‍රදේශවල ජනතාව සමඟ සහයෝගයෙන් සිටීමට අවකාශ සැලසිය යුතුයි.

* රට තුළ නැවතත් යුදමය වාතාවරණයක් ඇතිවි හැකි බවට රට පුරා ප්‍රචාරයක් ගෙනගියා. මෛත්‍රී පාලනයක් යටතේ එවැනි දෙයක් සිදුවීමට ඉඩක් තිබෙනවාද?

කිසිසේත්ම එවැන්නකට ඉඩක් නැහැ. රට බෙදෙයි, නැවත ත්‍රස්තවාදය හිස ඔසවයි වැනි බියවැද්දවීම රට පුරා ප්‍රචාරය කළා. උතුරේ කොටි දේශපාලනය පරාජය වෙලා ඉවරයි. කුමරන් පද්මනාදන් වැනි කොටි නායකයන් වෙනුවෙන් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වේවි. ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට රටින් පැනයන්න ඉඩ දෙන්නෙ නැහැ.

* මෛත්‍රී පාලනය යටතේ පසුගිය වසර ගණනාව පුරා දූෂණ, වංචා සිදුකළ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට රැගෙන ඒමට කටයුතු කරන බවත් ඔබ පවසනවා. ඒ සඳහා යම් ක්‍රමවේදයක් සැලසුම් කැර තිබෙනවාද?

දූෂිතයන් පන්නා දැමීම සඳහා අනාගතයේදී නිල වශයෙන් අපි කොමිසමක් පත් කරනවා. දූෂිත පුද්ගලයන්, නිලධාරීන් සම්බන්ධව අපට තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දූෂිත ව්‍යාපාරිකයන්ට ටයි මාරු කරගෙන මේ පැත්තට එන්න මේ පාර අප ඉඩතබන්නේ නැහැ. රටේ කුණු අතුගා දමනවා සේම දූෂණය අතුගා දැමීමට අලුත් රජය අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඒ සඳහා උපකාර කරන සිවිල් සංවිධානයක් ලෙස දූෂණ විරෝධී පෙරමුණ කටයුතු කරනවා.

ලොව කොහේ සිටියත් පලාගිය අපරාධකරුවන් එළියට ගන්නවා. පසුගිය සමයේ ව්‍යාපෘතිවල සිදුවූ වංචා දූෂණ ගැන දැනගත යුතුයි.සමස්ත ජනතාවගෙන් ම රාජ්‍ය සේවකයන්ගෙන්, සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන්, තාක්ෂණික ඇගයීම් කමිටු විශේෂඥයන්ගෙන් අප ඉල්ලන්නේ රට තුළ ඉකුත් දස වසර තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා ගැන තොරතුරු අපට දන්වන ලෙසයි.දූෂණ විරෝධී පෙරමුණට එන පැමිණිලි විගණනය සඳහා හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මහතා කැමැත්ත පළ කර තිබෙනවා. මුදල්, බලය හා නීතිය යන අංශ තුන පිළිබඳව අපි තොරතුරු ලබා ගන්නවා.

* නව ජනාධිපතිවරයාගේ ප්‍රධාන පොරොන්දු දින 100කින් ඉටු කරන්න හැකියාව තිබෙනවාද?

යහපාලනයක් සඳහා අපි ළඟ පොදු න්‍යායපත්‍රයක් තිබෙනවා. ඒ න්‍යායපත්‍රයේ තිබෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමටයි. මෙයට ද්‍රවිඩ ජාතික සන්ධානයේවත් අනෙකුත් පක්ෂවලවත් බාධාවක් ඇති බවක් පෙනෙන්න නැහැ. ජාතික හෙළ උරුමය ඇමැතිකම් ඇතිව හෝ නැතිව ජාතික වගකීම ඉටු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ විරෝධයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්ව සිටින්නේ පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටයි. අපි තීරණයක් අරගෙන තිබෙනව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු ගෞරවය නැවත ලබාදෙන්න. ඔහුට අහිමි වූ සියල්ල ඔහුට ලබාදීමට ක්‍රියා කරනවා. පොදු එකඟතාව අනුව කටයුතු කිරීමෙන් දින 100 තුළ මේ සියලු පොරොන්දු ඉටු කරන්න කටයුතු කරනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා