අපි ඇමැති ධුර ගන්නේ නෑ: රජයට ශක්තියක් වෙමින් ජනතා අපේක්ෂා ඉටු කරනවා

අපි ඇමැති ධුර ගන්නේ නෑ: රජයට ශක්තියක් වෙමින් ජනතා අපේක්ෂා ඉටු කරනවා

ජවිපෙ කියයි

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ ඇමැති ධුර භාර නොගන්නා බවත් රජයට සම්බන්ධව රජයේ වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැප වන බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

කැබිනට් මණ්ඩලයට ඉහළින් පිහිටුවන 'ජාතික විධායක සභාවක්' මඟින් ජනතා විමුක්ති පෙරමුණ රජයට සම්බන්ධව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු අවධාරණය කරති. ඊයේ (12) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පැවසීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

පසුගිය ජනාධිපතිවරණයට ජ.වි.පෙ. මැදිහත් වුණේ නිශ්චිත අරමුණු දෙකක් ඇතිව. ඉන් ප්‍රධානම වූයේ ඒකාධිපති වියරු රාජපක්ෂ පාලනය පලවා හැරීමයි. ඒ කාර්ය සඳහා ජවිපෙ පක්ෂයක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළා. දෙවැනි කාර්යය වූයේ රට තුළ ජනතාවට අවශ්‍යය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට යහපාලනය රට තුළ ඇති කිරීමයි.

දැන් ජනාධිපතිවරණය ජය ගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වන්නේ ගෙදරට වී බලා සිටීම නොවෙයි. ගොඩනඟනු ලැබූ ආණ්ඩුවට සහායදීමයි. ඒ සඳහා අපි කැබිනට් ඇමැතිකම් ගන්නේ නැහැ. දින සියයකින් ඉටු කරන්න ඇති කාර්යයන් බොහෝයි. දින සියයකින් ඉටු කරන්නට ඇති කාර්යභාරය ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. මෙහිදී ජනතාව විශාල වගකීමක් ජ.වි.පෙ. න් බලාපොරොත්තු වෙනවා.

අද අපේ රටට පුළුල් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ජ.වි.පෙ. ඉදිරි වැඩපිළිවෙළ වන්නේ එම පුළුල් සමාජ පරිවර්තනය ඇති කිරීමයි. අපි ආණ්ඩුවට යෝජනා කර තිබෙනවා කැබිනට් මණ්ඩලයට ඉහළින් 'ජාතික විධායක සභාවක්' හදන්න කියලා. එය ජනතා විමුක්ති පෙරමුණ, ජනාධිපති හා අගමැති ගෙන් සමන්විතයි. එහිදී නිශ්චිත කාර්යභාරයක් විධායක සභාවට පවරාගත යුතුයි. එම කාර්යයන් අතර 18 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපතිධුරයේ ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාවේ මානව හිමිකම් ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ, ආයතනික ප්‍රතිසංස්කරණ යනාදිය පවරා ගත යුතුයි.

ඒ වගේම තවත් පමා නොකර කළ යුතු කාර්යන් තිබෙනවා. මේ වන විට රට හැර යමින් සිටින වංචා දූෂණ වලට සම්බන්ධව ක්‍රියා කළ පිරිස් නිදැල්ලේ සිටීමට ඉඩ ලබා නොදිය යුතුයි. මෙහි එක් ප්‍රතිඵලයක් ලෙස මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කළ පුද්ගලයන් හා කණ්ඩායම් වලට එහෙිව ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ අපි මැදිහත් වෙනවා වංචා දූෂණ කළ පිරිස් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලය ලෙහෙසියෙන් අතහැර යන්න නෙමෙයි හිටියේ. ඔහු අන්තිම මොහොත දක්වාම බලයේ ඉන්න උත්සහ කළා. මේ ප්‍රයත්නය ඉතාම නින්දිතයි. කුමන්ත්‍රණය කිරීම මඟින් බලය තවදුරටත් තබා ගන්නයි හැදුවේ. මේ පිළිබඳව තවදුරටත් සොයා බලා ඊට නීති මඟින් පියවර ගන්න ඕනෑ. ඕනෑම පාලකයෙක්ව ජනතාවට අයිතියක් තිබෙනවා පලවා හරින්න.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ජනතාවගේ ජන වරමින් බහුතර කැමැත්තකින් තේරී පත්වූ ජනාධිපතිවරයෙක්. අපි සතුටු වෙන්න ඕනෑ උතුරු නැඟෙනහිර ජනතාවත් ඡන්ද පොළට ගිහින් ඡන්දය දාපු එක ගැන. පරාජිත වූ පිරිස් අද උත්සාහ දරමින් සිටිනවා විවිධ දුෂ්ට ගෝත්‍රික මතවාද ඉදිරිපත් කිරීමට. උතුරේ ඡන්ද ලැබුණේ කොටි ඊළමෙන් කියලා. එහෙනම් මහින්ද රාජපක්ෂ මහතා ඊළමක් නිර්මාණය කරලද ගියේ. මහින්ද රාජපක්ෂ මහතා තම පරාජයෙන් තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ. රටේ ජාතික සමගිය බිඳ හෙලන කට කතා හදමින් පතුරවමින් සිටිනවා. මේ ජාතිවාදී අදහස් පරාජයට පත් කරන්න වහාම මැදිහත්වීමක් කළ යුතුයි.

ඒ වගේම රාජපක්ෂ පාලනය මගින් වෛරී දේශපාලනය ක්‍රියාත්මක කර නීත්‍යානුකූල නොවන පරිදි ඇතැම් අය සඳහා දඬුවම් ලබාදී තිබෙනවා. සරත් ෆොන්සේකා මහතාට සියලු දේ අහිමි කළා. එය නිවැරැදි කළ යුතුයි. දේශපාලන පළිගැනීමක් නිසා එය ව්‍යවස්ථානුකූල නිවැරැදි කිරීමක් කළ යුතුයි. ශිරාණී බණ්ඩාරනායක නෙරපා හැරීම නීත්‍යානුකූල නෑ. මොහාන් පීරිස් පත්වීම නීත්‍යානුකූල නෑ. මේ සඳහා නිවැරැදි කිරීම් කළ යුතුයි.

අපේ රටේ තිබුණේ කවර වර්ගයේ පාලනයක්ද කියලා අපි තේරුම් ගත යුතුයි. අද උතුරු පළාතේ යම් යම් ප්‍රශ්න ඇති බවට කට කතා පැතිර යනවා. නමුත් එහි කිසිදු කතාවක් නැහැ. ඒකාධිපති පාලනය පරාජයට පත් කිරීම නිසා මත පතුරවමින් සිටිනවා. දැන් අපට අවශ්‍යය යහපාලනය ක්‍රියාත්මක කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි.ජනතා විමුක්ති පෙරමුණ අපි මේ කාර්යන් සඳහා අවශ්‍ය මැදිහත්වීම උපරිමයෙන් සිදු කරනවා කියලා ජනතාවට කියන්න කැමතියි.

හෙට (13) හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි කිරීමට නියමිතයි. ඉතා ඉක්මනින් වංචා දූෂණ සිදු කළ පිරිස් වෙත විමර්ෂණ කර නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වන විට රටින් පිටවූ අය පිළිබඳව ද සොයා බලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී වැරදි සිදු කළ පුද්ගලයින්ට රටින් පිටවීමට නොහැකි වන පරිදි නීතිය ක්‍රියාත්මක වෙනවා.

මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා, විජිත හේරත් හා ලාල් කාන්ත මහත්වරු ද එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා