ජනපතිවරණය ඉතාමත් සාමකාමියි

ජනපතිවරණය ඉතාමත් සාමකාමියි

විදෙස් මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් සහතිකයක්

ජනාධිපතිවරණ දින ඡන්ද විමසීම ඉතා සාමාකාමීව පැවැති බව පැෆ්රල් සංවිධානය විසින් මෙරටට කැඳවූ විදෙස් මැතිවරණ නිරික්ෂකයන් ප්‍රකාශ කරති.

විදේශිය නිරික්ෂකයින් 35 ක සංඛ්‍යාවක් මෙම නිරික්ෂණ කටයුතු සඳහා එක් ව තිබුණි. එම නිරීක්‍ෂකයින් සකස් කළ වාර්තාව පෙරේදා (11) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත බාර දී ඇත.

ඒ පිළිබඳ දිනමිණට අදහස් දැක් වු පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම නිරික්ෂකයන් පුර්ව මැතිවරණ දින සහ පශ්චාත් මැතිවරණ කාල සිමාව තුළ ඔවුන්ගේ අදාළ නිරික්ෂණ කටයුතු සිදු කර ඇති බවයි. එසේම එම නිරික්ෂකයින් මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ඇගයීමට ලක් කර තිබේ.

පශ්චාත් මැතිවරණ කාල සිමාව තුළ පැමිණිලි 42 ක ප්‍රමාණයක් පැෆ්රල් සංවිධානයට වාර්තා වී ඇති බව ද පවසන හෙට්ටිආරච්චි මහතා එම සිද්ධි අතර පහර දීම්, තුවාල සිදුවීම් වැනි සිද්ධි ඇතුළත් වී ඇති බවද වැඩිදුරටත් පැවසිය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා