දේශපාලන නායකත්වය සහ රාජ්‍ය සේවකයා රටට ආදර්ශවත්ව ක්‍රියා කළ යුතුයි

දේශපාලන නායකත්වය සහ රාජ්‍ය සේවකයා රටට ආදර්ශවත්ව ක්‍රියා කළ යුතුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නව දේශපාලන සංස්කෘතියක් සහ පරිපාලනමය වෙනසක් ඇති කිරීම යුගයේ අවශ්‍යතාවක් බැවින් දේශපාලන නායකත්වයත් රාජ්‍ය සේවයත් රටට ආදර්ශවත් ලෙස ක්‍රියා කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේ ය.

එමඟින් සැවොම අපේක්ෂා කළ යහ පාලනය ළඟා කර ගත යුතු යැයි ද ප්‍රබුද්ධ රාජ්‍ය සේවයක් ඇති කිරීම තමාගේ ඒකායන අපේක්ෂාව යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.දුගී බව තුරන් කර දූෂණය නැති කිරීමට රජය හා එක්වන්නැයි නැවත වතාවක් සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමිණි.

ප්‍රබුද්ධ රාජ්‍ය සේවයේදී, වරින්වර බලයට පත්වන දේශපාලනඥයන්ගේ අතකොළු නොවිය යුතු බවත් දීර්ඝ කාලීනව කටයුතු කිරීමට සුදුසු රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය. දැහැමි ලෙස රට පාලනය කිරීමෙන් සියලු දේ යහපත් වන බව අවධාරණය කළ ඒ මහතා රජෙක් නොව මහජනතාවගේ සේවකයින් ලෙස සලකා ක්‍රියා කිරීමෙන් යහ පාලනය ඇති කළ හැකි බව ද කීය.

තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් දින සියයේ වැඩසටහන මගින් සැබෑ වෙනසක් ඇති කිරීමට අපේක්ෂිත බවත් එහි ඇතුළත් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් සමස්ත ජනතා නියෝජිතයින්ගේත් අනෙකුත් සියලු දෙනාගෙත් සහයෝගය අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා, පැවති ජනාධිපතිවරණය සාර්ථකව පවත්වා ගැනීමට සහය දුන් සියලුම දෙනාට සිය ස්තූතිය පුද කරන බව ද කීය.

මෙම අවස්ථාවට අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාධක්‍රිෂ්ණන්, පී. දිගම්බරන්, ආර්.සම්බන්ධන්, රජීව විජේසිංහ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා