චෝදනා ඇති දේශපාලනඥයන්ට රටින් පිටවීම වළක්වන්න

චෝදනා ඇති දේශපාලනඥයන්ට රටින් පිටවීම වළක්වන්න

පා.ම. රන්ජන්ගෙන් ‍අල්ලස් කොමිසමට පැමිණිලි

චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන් රටින් පිටව යාම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවත් ඒ සඳහා වහාම විමර්ශන පැවැත්විය යුතු බවත් තමා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිළි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වත්මන් දේශපාලන තත්වය පිළිබඳ දිනමිණ කළ විමසුමකදී පැවසීය.

අල්ලස් සහ දූෂණ කොමිසමේ චෝදනා පවතින දේශපාලනඥයන් පිරිසක් රටින් පලා යාමට සුදානම් වන බවත් ඊට පෙර ඔවුන් ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කළ යුතු බවත් ඔහු පැමිණිළි කර තිබේ. අභිනව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ශිෂ්ඨ සම්පන්න කම ආයුධයක් කරගනිමින් මේ වංචනිකයන්ට හා දූෂිතයන්ට නීතියෙන් පැනයාමට ඉඩනොදෙන බව පවසන රන්ජන් රාමනායක මහතා ඉන්දියාවේ බැන්ගලෝර් වැනි අධිකරණයක් අපිට අවශ්‍ය බවද පෙන්වා දෙයි.

එවැනි අධිකරණයකින් ජයලලිතා වැනි ප්‍රබල නායිකාවකට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ අතර එවැනි ජයලලිතාවරු හා ජයලලිත්වරු අපේ රටේද සිටින බව පැවසූ ඒ මහතා අපටද එවැනි අධිකරණයක අවශ්‍යතාවය ඇතිවී තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ ජයලාලිතාට එරෙහිව ගිය අරවින්ද ස්වාමී වැනි චරිතයක අවශ්‍යතාවය අපේ රටටද අවශ්‍ය බව පෙන්වාදෙන ඒ මහතා අරවින්ද ස්වාමී ඉන්දියාවේ සිදුකළ කාර්ය තමා විසින් ඉටුකරන බවද පෙන්වාදුන්නේය. තමාට අවශ්‍ය දූෂිත දේශපාලඥයින් මෙරට දේශපාලනයෙන් ඉවත් කර ජනතාවට සේවය කරන අවංක නායකයින් රටට ඉතිරිකරදීම බව ඒ මහතා පැවසීය. තමා වෛරීදේශපාලනය අනුමත නොකරන අතර දූෂිතයින්ට පමණක් දඩුවම් ලබාදීම වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා