මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග වැඩ බාර ගනී

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග වැඩ බාර ගනී

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ කීර්තිමත් නිලධාරියකු වන ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඊයේ දින (12) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්තික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ඇති සමරතුංග මහතා 1984 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

නව දිල්ලියේ ඉන්ද්‍රප්‍රස්ත්‍රා රාජ්‍ය පරිපාලන ආයතනයෙන් තම ප්‍රථම පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන (MBA) පිළිබඳ පශ්චාත් උපාධිය ද අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති (MSc) පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධිය ලබා තිබේ.

වර්ෂ 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීමෙන් පසුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය යටතේ වන ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වසර 20ක් පමණ සේවය කර ඇති සමරතුංග මහතා, එම දෙපාර්තමේන්තුවේ සාර්ව ආර්ථික සැලසුම් අධ්‍යක්ෂ වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය. ඉන් පසුව වර්ෂ 2005දී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එක්විය. වර්ෂ 2007දී වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ එතුමා වර්ෂ 2008දී භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට උසස් කරන ලදී. ඉන් පසුව 2010 වර්ෂයේදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වූ එතුමා එම තනතුර බාරගන්නා තෙක් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

ඉහත තනතුරු වලට අමතරව එතුමා ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව, රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 20ක පමණ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් සේවය කර තිබේ.

තවද ආර්ථික විද්‍යාව හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විද්වතකු වූ එතුමා, එම විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ‍ලිපි විශාල සංඛ්‍යාවක් විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා විෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරුන් වන ආචාර්ය බී.එම්.එස්. බටගොඩ පුෂ්පා වෙල්ලප්පිලි, එස්.ආර්. ආටිගල යන මහත්ම මහත්මීහු ප්‍රධාන මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහභාගී වී සිටියහ. කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ මහා සංඝරත්නය වැඩම කොට නව ලේකම්වරයාට ආගමික ආශිර්වාදය පළ කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා