නවසීලන්තය ලකුණු 59කින් බංග්ලාදේශය පරදවයි

නවසීලන්තය ලකුණු 59කින් බංග්ලාදේශය පරදවයි

තරග ඉතිහාසයේ හොඳම ඉනිම මැකලම්ගෙන්

විස්සයි 20 තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තමා සතුකර ගැනීමට නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් සමත් විය.

සිවුවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කරමින් බංග්ලාදේශය සමඟ ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මැකලම් ලකුණු 123ක් රැස් කරමින් මේ වාර්තාව පිහිටු වීය. 'ඩී' කාණ්ඩයේ පළමු තරගය ලෙසින් පැවැති මේ තරගයේදී බංග්ලාදේශය ලකුණු 59කින් පරාජය කිරීමට නවසීලන්තයට හැකිවිය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කිරිමත් සමඟ පිටියට පිවිසි නවසීලන්තය නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 191ක් රැස් කළේය. පළමු කඩුල්ල ලෙස ලකුණු 19දී ගුප්ටිල් දැවී යාමෙන් පසු ජේම්ස් ෆෑන්ක්ලින් සමඟ එක්වු බ්‍රෙන්ඩන් මැක්ලම් දෙවන කඩුල්ල සඳහා ලකුණු 94ක සබඳතාවක් (ඕවර 10.5) ගොඩනැගීමට සමත් වූහ.

ලකුණු 113දී දෙවන කඩුල්ල බිඳ වැටුණු අතර මැකලම් සමග එක්වු රෝස් ටේලර් ලකුණු 78ක් ඉනිමට එක් කළේය. අබ්දූර් රසාක් ක්‍රියාත්මක කළ ඉනිමේ අවසන් පන්දුවේදී ටම්මි ඉක්බාල් අතට උඩ පන්දුවක් දී මැකලම් දැවී යනවිට පන්දු 58කදී ලකුණු 123ක් රැස් කරගෙන සිටියේය. ඊට හතරේ පහර 11සහ හයේ පහර 7ක් ඇතුළත් විය.

විස්සයි 20 තරග බිමේ ලකුණු දහස සම්පුර්ණ කළ පළමු පිතිකරුවා වූ මැකලම් පිතිකරු ශ්‍රේණිගත කිරීමේද පළමු ස්ථානයේ පසුවේ. මැක්ලම් බිඳ දැමුවේ ක්‍රිස්‍ ගේල් විසින් තබා තිබු ලකුණු 117 වාර්තාවයි.

පිළිතුරු ඉනිම ඇරඹු බංග්ලාදේශ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් නවසිලන්ත පන්දු යවන්නන් පළමු ඕව‍රයේ තුන්වැනි පන්දුවේදී ටම්මි ඉක්බාල් ලකුණු ලබා ගැනීමට පෙර යළි ක්‍රීඩාගාරයට යැවිමට සමත් විය.

ලකුණු 37ට කඩුලු 4ක් බිඳ වැටි තිබියදී නසාර් හොසේන් සමග එක්වු මහමුදුල්ලා තරගයේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගුවද 5වැනි කඩුල්ල ලෙසින් මහමුදුල්ලා දැවීයාමත් සමග එය අසාර්ථක විය.

බංග්ලාදේශ ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලාබගත හැකි වුයේ ලකුණු 132ක් පමණි. නසිර් හොසේන් ලකුණු 50ක් රැස් කළේය. ට්ම් සවුති හා කයිල් මිල්ස් කඩුලු 3 බැගින් බිඳ හෙළීය. තරගයේ වීරයා සම්මානය බ්‍රෙන්ඩන් මැකලම්ට හිමිවිය.

නවසිලන්තය :191/3 (ඕවර 20) බ්‍රෙන්ඩන් මැකලම් 123, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 35 (අබ්දුර් රසාක් 28/2, මෂ්රෆි මොටාසා 26/1)

බංග්ලාදේශය :132/8 (ඕවර 20) නසිර් හොසේන් 50, මොහමඩ් අෂ්රෆුල් 21 (ටිම් සවුතී 16/3, කයිල් මිල්ස් 33/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා