‘සදර්න් මොන්සූන්’ දිවා රාත්‍රී ‍මෝටර් රථ ධාවන තරගාවලිය අද සහ ‍හෙට

‘සදර්න් මොන්සූන්’ දිවා රාත්‍රී ‍මෝටර් රථ ධාවන තරගාවලිය අද සහ ‍හෙට

සදර්න් මෝටර් ක්‍රීඩා සමාජය 14වැනි වරටත් සංවිධානය කරන සදර්න් මොන්සුන් රැලි දිවා රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය අද (22) සහ හෙට (23) මාතර දී පැවැත්වේ. වසරේ වඩාත්ම අභියෝගාත්මක සහ දුෂ්කරම මොටර් රැලි තරගය ලෙස සැළකෙන සදර්න් මොන්සූන් රැලිය වට 3කින් සමන්විතය.

තරගාවලියේ සම අනුග්‍රාහකත්වය සපයනු ලබන මොබිටෙල් ආයතනයේ නිෂ්පාදන විකුණුම්කරණය පිළිබඳ සාමාන්‍යධිකාරී ඉසුරු දිසානායක මහතා සදර්න් මෝටර් ක්‍රීඩා සමාජයේ සභාපති මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතාට සංකේතාත්මක අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව. සදර්න් ක්‍රීඩා සමාජයේ ලේකම් දිමුත් බඹරවාන, එම ක්‍රීඩා සමාජයේ කොළඹ සම්බන්ධිකාරක සුරංජිත් ප්‍රේමදාස සහ ජ්‍යේෂ්ඨ උප සභාපති අෂාර් හමීම් මහත්වරු ද මෙහි වෙති.

පළමු දිනයේ දී සනත් ජයසූරිය ක්‍රීඩාංගණයෙන් අද පස්වරු 7.00ට ආරම්භ වන මේ තරගයේ කිලෝමීටර් 190කින් යුතු පළමු වටය අකුරැස්ස, කටුවන, පනාමුර හරහා රාත්‍රී 11.00ට උඩවලවෙන් නිමාවට පත්වේ.

හෙට පෙරවරු 2.00ට උඩවලවෙන් දෙවැනි වටය ආරම්භ වන අතර එය කිලෝමීටර් 196කින් සමන්විතය. සූරිය වැව, තණමල්විල හරහා යන දෙවැනි වටයේ තරගය නිමාවන්නේ පෙරවරු 6.00ට හම්බන්තොටෙන්ය.

හෙට පෙරවරු 10.00ට ඇරුඹෙන අවසන් වටයේ දී තරගකරුවෝ හම්බන්තොට සිට තංගල්ල දක්වා කිලෝමීටර් 150ක් ගමන් කරති. එය පස්වරු 2.00ට තංගල්ලෙන් නිමාවීමට නියමිතය.

කාල ගණනය අනුව ටී.එස්.ඩී. (කාලය, වේගය, දුර) ක්‍රමයට පැවැත්වෙන මේ තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට පස්වරු මාතර බීච් පාරේ දී පැවැත්වේ.  තරගයේ සමස්ත ශූරයා වන තරගකරු සහ ඔහුගේ සහායක ක්‍රීඩකයාට, එක් එක් තරග වටයකින් ජය ගන්නා තරගකරුට සහ කණ්ඩායම් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ සම අනුග්‍රාහකත්වය මොබිටෙල් ආයතනය සහ රන්න සංචාරක ආයතනය විසින් දරනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා