මීරිගම රෝහලේ අඩුපාඩු සොයන්න පළාත් සෞඛ්‍ය ඇමැති නිරීක්‍ෂණ චාරිකාවක

මීරිගම රෝහලේ අඩුපාඩු සොයන්න පළාත් සෞඛ්‍ය ඇමැති නිරීක්‍ෂණ චාරිකාවක

මීරිගම රෝහලට අතිරේක ගිලන් රථයක් ලබාදීමට හා දැනට අබලන්ව ඇති විදුලි රැහැන් පද්ධතිය අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්‍ෂ තිස් පහක් යෙදවීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා එම රෝහලේ කළ සංචාරයකදී පැවැසීය.

දැනට මූලික රෝහලක් ලෙස නම් කර ඇති මෙම රෝහල රජය මඟින් උද්‍යාන රෝහලක් ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඇමැතිවරයා පසුගියදා එහි සංචාරයක නිරත විය.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කාමලි කුරුප්පු සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ අමල් හර්ෂ ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට යමින් පරීක්‍ෂා කළ ඇමැතිවරයා එහි පිරිසුදුතාවය පිළිබඳව සොයා බලා උපදෙස් දෙනු ලැබීය. රෝහලේ සේවා කටයුතු පැහැර හරින සේවකයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන ලෙසද ඇමැතිවරයා අධ්‍යක්‍ෂවරයාට උපදෙස් දුන්නේය.

දැනට රෝහල සතුව ඇත්තේ එක් ගිලන් රථයක පමණක් බව අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳව කරුණු විමසූ අංගගේ මහතා අවශ්‍යතාවය සලකා අලුතින් ගිලන් රථයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද උපදෙස් දෙනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා