කඩුවෙලට නව බස් නැවතුම්පොළක්

කඩුවෙලට නව බස් නැවතුම්පොළක්

වියදම රුපියල් ලක්ෂ 900යි

කඩුවෙල නගරයේ, කලක සිට ගරාවැටෙමින් තිබූ ප්‍රධාන බස් නැවතුම්පොළ රුපියල් ලක්ෂ 900ක වියදමින් නැවත ඉදි කෙරෙමින් පවතින අතර පසුගිය වසර අගදී ඇරඹුණු මෙහි ඉදි කිරීමට සියයට අසූවක ප්‍රමාණයක් මේ වනවිට නිමවෙමින් පවතී.

කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නැංවුණු මේ බස් නැවතුම්පොළ ඉදි කිරීම සඳහා පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 400ක් හා නගර සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 500ක් මේ වනවිට වෙන්ව තිබේ.

ඉදි කෙරෙමින් පවතින නව බස් නැවතුම් සංකීර්ණය

බිම් මහලේ බස් රථ නැවැත්වීම හා එම පර්යන්තයේ බස් මාර්ග 11ක මෙහෙයුම් බස් රථවලට පිවිසීමේ පහසුකම්, මගී විවේකාගාර, රියැදුරු, කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාර, නවීන වැසිකිළි, කැසිකිළි පහසුකම් සලසා ඇත. මීට අමතරව මගී ජනතාවගේ පහසුව සඳහා දුරකථන, බැංකු ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර පහසුකම්වලින්ද සමන්විතය.

නව බස් නැවැතුම් සංකීර්ණය ඉදි කිරීම පිළිබඳ අදහස් දැක්වූ කඩුවෙල නගරාධිපති ජී.එම්. බුද්ධදාස මහතා, කඩුවෙල නගරයක් ලෙස සුවිශාල සංවර්ධන කටයුතු රැසක් දියත් කෙරෙනවා. එන් එකක් තමා මේ බස් නැවතුම්පළ සංකීර්ණය.

එමෙන්ම කඩුවෙල මාර්ග 25ක් 30ක් සෑම මාසෙකම හදනවා. ඒ කියන්නේ අවුරුද්දකට පාරවල් 360ක් සංවර්ධනය වෙනවා. කඩුවෙල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස තනාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ යටතේ මේ වනවිට නිවාස 78ක් ඉදිකර අවසන්.

මෙතෙක් සංවර්ධනය නොවුණු කඩුවෙල වැලිවිට වැනි මාර්ග නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ඉදි කරනවා. මෙවර අයවැයෙන් සෑම ග්‍රාම නිලධාරි වසමකම අඩු ආදායම්ලාභීන්ට ගෙවල් 5ක් සාදා දෙන්න තීරණය වුණා.

මගේ අරමුණ නිවාස 1000ක් තනා දීමයි. භෞතික සංවර්ධනය විතරක් නෙවෙයි අපි මානව සංවර්ධනය ඇති කරන්න දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දෙක බැගින් බෙදා දෙන්නත් ගුරුවරුන් අගයන්නත් බලාපොරොත්තු වනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන්දනා ගමන් රැගෙන යන්න බස් රථයක් මිලට ගැනීමට අදහස් කරනවා. ඒ වගේම නව සංකල්පයක් හැටියට ගෙන් ගෙට ගොස් රෝග පරීක්ෂා කිරීමේ ජංගම සේවාවක් අරඹන්න කටයුතු කරගෙන යනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා